----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නළුකම කලාවක් කර ගත් ආණ්ඩුවේ කන්තෝරුකාරයා

Friday, March 18, 2011

‘රුක්මණීලා ගම්පහට එනවා’.

ඒ ගම පුරා පැතිර ගිය ආරංචියකි. එය මෙරට තුළ ටීටර් නාට්‍ය බෙහෙවින් ජනප්‍රියව පැවති යුගයක් විය. මිනර්වා නාට්‍ය, සිරිසේන විමලවීරගේ නාට්‍ය එම ටීටර් අතර වැඩි ජනකාන්ත බවක් හිමි කර ගෙන තිබිණි.

හෙන්රි ජයසේන ජීවිතයේ මුල් වතාවට නාට්‍යයක් දුටුවේය. ගමේ පොල් අතු වේදිකාවක් මත රඟ දැක් වුණු ඒ නාට්‍යය වූයේ රුක්මණී දේවි ප්‍රධාන චරිතය රඟපෑ ‘සැඟවුණු පිළිතුර’ය. එම නාට්‍යය නැරඹීමෙන් හෙන්රි ලැබුවේ අමන්ද චමත්කාරයකි. ජීවිතය ඇත්තේ එතැන බව ඔහු පසක් කර ගත්තේය.

ජංගම නාට්‍ය කණ්ඩායමකට තමාටත් එක් වන්ට ඇත්නම් යැයි හෙන්රි සිතුවේය. ඒ සිතුවිල්ලෙන් ඔහු මිනර්වා කණ්ඩායමට ලියුමක් ද ලීවේය.

‘ගම්පහදී ඔබ හැම රඟදැක් වූ ‘සැඟවුණු පිළිතුර’ නාට්‍යය බලා මම බොහෝ සේ සතුටු වුණෙමි. මා කවි කීම, සින්දු කීම ආදියෙහි දක්ෂ ළමයෙක්ය. මට අවුරුදු දහයක් විතර වේ. ඔබේ කණ්ඩායමට බැඳී අර වගේ වේදිකාවේ රඟපෑමට මා ද කැමැතිය. මා තවම රඟපා නැත. ඒත් හොඳට රඟපෑමට පුළුවන් කියා සිතමි. ඔබ කැමැති නම් බස් එකක නැඟී මට මීගමුවට එන්න පුළුවන්’.

එහෙත් හෙන්රිට මේ ලිපිය තැපැල් කිරීමට ලැබුණේ නැත. ඊට හේතු වූයේ එය තැපැල් කිරීමට ශත 6 ක මුද්දරයක් ගැනීමට මුදලක් ඔහු සතුව නොතිබීමයි.

එදා ඒ ලියුම ලියූ හෙන්රි ජයසේන පසු කලෙක රුක්මණී දේවි සමඟ එකට රඟපෑවේය. එය මොන තරම් ආශ්චර්යවත් සිද්ධියක් යැයි සිතා බලනු වටී.

හෙන්රිට පළමු වතාවට නාට්‍යයකට සම්බන්ධ වන්ට ලැබුණේ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදීය. එම විදුහලේ ආචාර්යවරයකු වූ යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා) ‘හරිශ්චන්ද්‍ර’ නමින් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේය. එම නාට්‍යයේ රෝහිත කුමාරයා වූයේ හෙන්රිය.

හෙන්රි මුලින්ම නාට්‍යයක් නිෂ්පාදනය කළේ පදියපැලැල්ලේ දෙහිපේ නමැති ගමේ සිංහල ප්‍රාථමික පාසලේ ඉංගිරිසි උප ගුරුවරයකුව සිටියදීය. නාට්‍යයේ නම ‘ජානකී’ ය. මේ නාට්‍යය ගැන හෙන්රි වරක් මා සමඟ මෙසේ කියා සිටියේය.

‘දෙහිපේ කියන්නේ ජයලත් මනෝරත්නගේ ගමනේ. ඒ කාලේ මම නාට්‍ය කරන කොට මනෝරත්න ඇවිත් බලන් ඉන්නවලු. මට මිනිහව නිච්චි නැහැ. හැබැයි මනෝගේ අක්කට නම් මං උගන්වපු බවක් මතකයේ තියෙනවා’.

ආපසු කොළඹට ආ හෙන්රි වේදිකා නාට්‍ය කීපයක රඟපෑවේය. ටී. බී. ඉලංගරත්නගේ පිටපතක් ඇසුරෙන් ආර්නෝල්ඩ් වික්‍රමසූරිය නිෂ්පාදනය කළ ‘හඳහන’ ඉන් එක් නාට්‍යයකි.

කොළඹදී හෙන්රි මුලින්ම නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යය වූයේ ‘මනමාලයෝ’ ය. ‘වැදගත්කම’, ‘ඇත්ත කුමක්ද’ යන නාට්‍ය ඔහු ඉනික්බිතිව නිපද වූයේය.

‘පව්කාරයෝ’ හෙන්රි නිෂ්පාදනය කළ තවත් නාට්‍යයකි. එකල සිංහල වේදිකාවේ බල පැවැත් වුණේ ශෛලිගත නාට්‍යයන්ය. එබඳු පසුබිමක ‘පව්කාරයෝ’ වැනි සංවාද නාට්‍යයකට සාර්ථක පැවැත්මක් නොතිබිණි. හෙන්රිම කියා ඇති පරිදි එකල තාත්වික (සංවාද) නාට්‍ය ඇද වැටුණේ තටු සිඳුණු කුරුල්ලකු පරිද්දෙනි.

‘මගේ ‘පව්කාරයෝ’ නාට්‍යය කොළඹ විශ්ව විද්‍යාලයේ පෙන්වන කොට ශිෂ්‍යයෝ නාට්‍යය පෙන්වන්නම දුන්නෙ නැහැනේ. මුල ඉඳලම ‘හූ’ කිව්වා. මේ නාට්‍යයේ සංගීතය අමරදේවගේ. ඉන්ටවල් එකෙන් පස්සේ අමරදේව බලන කොට මිනිහා නැහැ. ‘හූ’ වට බයේ මාරු වෙලා ගිහින්’.

තමා වේදිකාව දෙසට බැඳුණේ හදවතේ වූ කිසියම් පාළුවක්, තනිකමක්, හුදකලා බවක් තුනී කර ගනු පිණිස බව හෙන්රි කොතැනක හෝ කියා තිබුණා මට මතකය. මම වරක් ඔහුගෙන් ඒ ගැන ඇසීමි.

‘ඔව් ඒක ඇත්ත. එක්තරා කාලයකදී අම්මත් මමත් තනි වුණා. අපිට සෑහෙන කාලයක් තනිව ජීවත් වෙන්න සිද්ධ වුණා. මම ගහ කොළ එක්ක කතා කළා. තනියමත් කතා කළා. මුල් යුගයේදී මම නාට්‍ය කළේ කාන්සිය දුරැලීමට මිසක් ඊට වැඩි ගැඹුරු අරමුණකින් නෙමෙයි. බෙන් සිරිමාන්නගෙන් පසු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ ‘මනමේ’ කුමරු වූයේ හෙන්රිය. ඔහු ටික කලක් ‘මනමේ’ කුමාර භූමිකාව රඟපෑවේය.

‘හස්තිකාන්ත මන්තරේ’, ‘මැටි කරත්තය’ හා ‘රත්නාවලී’ හෙන්රි ඉන් පසු රඟපෑ නාට්‍යයන්ය. ‘ජනේලය’ හෙන්රි නිෂ්පාදනය කළ නාට්‍ය අතරින් විචාරක ප්‍රශංසාව දිනූ මුල්ම නාට්‍යය විය.

හෙන්රි මානෙල් හා විවාහ වූයේ ද ‘ජනේලය’ නාට්‍යය නිපද වූ වකවානුවේය.

‘මම ඒ දවස්වල වැඩ කළේ රෙජිස්ටර් ජනරාල් කාර්යාලයේ. කසාද බඳිද්දී මට සල්ලි තිබ්බෙ නැහැ. මං කන්තෝරුවෙන් ආපදා ණයක් ඉල්ලුවා. ඉල්ලුම් පත්‍රයේ මම ලිව්වා මේ ණය ඉල්ලන්නේ කසාද බඳින්න කියලා. පස්සේ ණය අනුමත කරන ලිපිකරුවා මගේ ඉල්ලුම් පත්‍රයත් එක්ක සටහනක් එවලා තිබුණා ‘විවාහය කියන්නේ ආපදාවක් නෙමේය’ කියලා. ඇත්ත කියන්න ගිහින් මට ඒ සල්ලි ටික හම්බ වුණේ නැහැ. හෙන්රි ‘කුවේණි’ නාට්‍යය ලියා නිෂ්පාදනය කළේ විවාහයෙන් පසුවය. එය ගැහැනිය දෙස සානුකම්පිත දෘෂ්ටි කෝණයකින් බැලූ විශිෂ්ට නාට්‍යයක් වූයේය.

හෙන්රි වේදිකාව ඔස්සේ සිනමාවට ද පිවිසුණේය. මා නිවැරදි නම් හෙන්රි මුලින්ම රඟපෑවේ ‘ගැහැනු ගැට’ චිත්‍රපටයේය. එහෙත් පළමුව තිරගත වූයේ ඉන් පසු රඟපෑ ‘ශ්‍රී 296’ ය. සිනමා රංගනයට පිවිසීම ගැන හෙන්රි මා සමඟ මෙසේ අදහස් දක්වා ඇත.

‘ඒ කාලේ මම වැඩ කළේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. ‘ලේක්හවුස්’ එකේ හිටපු ප්‍රවීණ පුවත්පත් කලාවේදී සිසිර කුමාර මාණික්කආරච්චි දවල්ට කෑම කන්න එන්නේ අපේ කැන්ටින් එකට. (එකල ජනප්‍රිය නළුවකු වුණු ආනන්ද වීරකෝන් පවා මෙතැනට කෑම කන්න එනවා මට මතකයි). ඔය මානික්කආරච්චි තමයි මාව සිනමාවට යොමු කළේ’.

හෙන්රි කියූ ආකාරයට ‘ගැහැනු ගැට’ චිත්‍රපටයේ කතාව, දෙබස්, ගීත රචනය ද මාණික්කආරච්චිගෙනි. ‘සුහද සොහොයුරෝ’, ‘හෙට ප්‍රමාද වැඩියි’, ‘වෙන ස්වර්ගයක් කුමටද?’, ‘සීගිරි කාශ්‍යප’ හෙන්රි ඉන් පසු රඟපෑ තවත් චිත්‍රපට කීපයකි.

වාණිජ චිත්‍රපටවල මල් පාත්ති වටේ දුවන පෙම්වතාගේ චරිතයට හෙන්රි ගැළපුණේ නැත. හෙන්රි ‘සීගිරි කාශ්‍යප’ චිත්‍රපටයේ පෙනී සිටි එබඳු දර්ශනයක් මට මතකය. හෙන්රි නිළියක සමඟ ගී ගයමින් නටයි.

‘පිරුණා හද සන්තානේ
පිපුණු දෑ සමන් මල් යහනේ
මැවුණා සුබ සිහිනේ’

එය හරූන් ලන්ත්‍රා හා සුජාතා අත්තනායක ගයන යුග ගීතයකි. මේ ගීතය වෙනුවෙන් හෙන්රි පෑ රැඟුම් දකින විට අපේ කට කොණකට සිනාවක් නැඟෙනු වැළැක්විය නොහැකිය. ඒ හෙන්රි එවන් රංගනයකට නුසුදුසු බැවිනි.

වාණිජ චිත්‍රපටවල තමන්ගේ අසාර්ථකත්වය ගැන හෙන්රි වක්‍රාකාරයෙන් අදහස් ප්‍රකාශ කර ඇත. ඒ මෙපරිදිය.

‘එකල තිබුණු නළු සම්ප්‍රදායයට මං අයිති වුණේ නැහැ. දවස් තුන හතරකින් රැවුල කපන සාමාන්‍ය කන්තෝරුකාරයෙක් මම. මට තරු ගුණය (STAR QUALITY) කියලා දෙයක් තිබුණෙම නැහැ.හෙන්රි ගේ සිනමා රංග කලා ජීවිතය වෙනස් කළේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය බව කීම විවාද රහිතය. එහි පියල් වූයේ ඔහුය. වාණිජ සිනමාවේදී අසාර්ථක වූවත් කලාත්මක සිනමාවේදී හෙන්රි දක්ෂ චරිතාංග නළුවෙක් වූයේය.

‘ඒ දවස්වල මම පදිංචි වෙලා හිටියේ දෙහිවල වෛද්‍ය පාරේ ගෙදරක. ලෙස්ටර් හිටියෙත් මං හිටපු ගෙවල් ළඟ. ඔහු කෙනකුගේ අතේ පණිවුඩයක් එවලා තිබුණා ඇවිත් හම්බ වෙන්න කියලා. ‘ගම්පෙරළියේ’ පියල් ගේ චරිතයට මාව තෝරා ගෙන තියෙනවයි කියලා ඔහු කියන කොට මම පුදුම වුණා. මම මේ නවකතාව පස් හය වතාවක් විතර කියවලා තිබුණා. මම මාර්ටින් වික්‍රමසිංහවත් ටිකක් හඳුනනවා. මොකද ඔහු මගේ නාට්‍ය බලන්න ඇවිත් තියෙනවා’.

මට ‘ගම්පෙරළිය’ චිත්‍රපටය සිහිපත් වෙයි. එහි එක් තැනෙක පියල් නන්දාට ඉංගිරිසි උගන්වයි.

නන්දා - ‘ඉතිං අන්තිමෙට එයා කුමාරිව බඳිනවද?’

පියල් - ‘ඔව්’

නන්දා - ‘බොරු! නිකම් මිනිහෙක් කුමාරියක් බඳීන්නේ කොහොමද?’

පියල් - ‘සල්ලි තියෙනවා නම් කුමාරියක් වුණත් බඳින්න බැරිද?’

‘ගම්පෙරළිය’ නවකතාවේ පියල් කජු පුහුලමක් වැනි නාසයක් ඇති අයකු බව එහි කතුවර මාර්ටින් වික්‍රමසිංහ කියා ඇත. හෙන්රි මේ චරිතයට තෝරා ගෙන ඇත්තේ ඔහුට ද කජු පුහුලමක් වැනි නාසයක් ඇති නිසා බව එකල කියැවිණි. ඒ ගැන මම වරක් හෙන්රිගෙන් විමසූ විට ඔහු සිනාසුණේය.

‘ගම්පෙරළිය’ බලලා වික්‍රමසිංහ මහත්තයා හුඟාක් සතුටු වුණා. මං පියල්ගේ චරිතයට සාධාරණය ඉටු කිරීම ගැන’.

‘ගම්පෙරළිය’ රූපගත කරන දිනවල ලෙස්ටර් හෙන්රිට නාට්‍ය පොතක් කියවන්ට දුන්නේය. එය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය එකතුවකි. ‘හුණුවටයේ කතාව’ නාට්‍යය ද ඊට ඇතුළත්ව තිබිණි. හෙන්රි පසු කලෙක මේ නාට්‍යය පරිවර්තනය කොට නිෂ්පාදනය කළේය. ‘හුණුවටයේ කතාව’ සිංහල නාට්‍ය කලාවේ ස්මාරකයකි.

හෙන්රිට යුනෙස්කෝවෙන් ලද අධි ශිෂ්‍යත්වයක් මත සෝවියට් දේශයට යෑමට අවස්ථාව ලැබුණේ 1964 දීය. ඔහු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් මුලින්ම දුටුවේ එම සෝවියට් ගමනේදීය.

‘මම සෝවියට් දේශයට යෑමට පෙර මාර්ටින් වික්‍රමසිංහයි මහාචාර්ය සරච්චන්ද්‍රයි මට උණුසුම් ඇඟලුම් තෑගි කළා. වික්‍රමසිංහ එදා මට තෑගි කළ කළු පාට උණුසුම් කමිසය තවමත් මම සිහිවටනයක් විදියට ආරක්ෂා කරගෙන ඉන්නවා’

හෙන්රි කීවේය.

‘ගම්පෙරළියෙන්’ පසු හෙන්රි ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයේ ද රඟපෑවේය. එය ඇතුළු හදට නැමුණු තරමක සංකීර්ණ චරිතයකි. එසේම මෙය නිතරම සිගරැට් බොන චරිතයකි. මේ චරිතය උදෙසා හෙන්රිට සිගරැට් 19 ක් බීමට සිදුව ඇත.

හෙන්රි එම දිනවලදී තවත් නාට්‍ය කීපයක්ම ලියා නිෂ්පාදනය කළේය. ‘තවත් උදෑසනක්’, ‘මනරංජන වැඩ වර්ජන’, ‘අහස් මාළිගා’ එවැනි නාට්‍යයය. ඔහු ‘හුණුවටයේ කතාව’ තැනුවේ ඉන් පසුවය. විචාරකයන් කියන පරිදි හෙන්රි එතෙක් මෙතෙක් නිපද වූ හොඳම නාට්‍යය ‘හුණුවටයේ කතාව’ යි. කලින් ද සඳහන් කළ ආකාරයට එය පසුගිය සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම නාට්‍යවේදියා ලෙස පිළිගැනෙන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක පරිවර්තනයකි. බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් සිංහලෙන් වේදිකා ගත වුණු පළමු අවස්ථාව එය විය. ‘හුණුවටයේ කතාව’, ‘මනමේ’, ‘සිංහබාහු’, ‘දුන්න දුනු ගමුවේ’, ‘සුභ සහ යස’ වැනි නාට්‍ය සේම චිරස්ථායි කලා කෘතියකි. මෙය පොදු ජන රසිකයන් අතර අති මහත් සේ ජනප්‍රිය වූ නාට්‍යයක් බවට ද පත් වූයේය. 1968 දී නිෂ්පාදනය වූ ‘හුණුවටයේ කතාව’ අඛණ්ඩව 25 වසරක් සිංහල වේදිකාවේ රඟ දැක්විණි. පුරා විසි පස් වසරක් අඛණ්ඩව වේදිකා ගත වූ ලෝකයේ එකම බ්‍රෙෂ්ට් නාට්‍යය ‘හුණුවටයේ’ සිංහල නිෂ්පාදනය බව නාට්‍ය කලා විද්වතකු වන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු කියා ඇත.

‘හුණුවටයෙන්’ පසු හෙන්රි ‘අපට පුතේ මඟක් නැතේ’, ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’, ‘මකරා’, ‘සරණ සියොත් සේ පුතුනි හඹා යන’ නාට්‍ය නිෂ්පාදනය කළේය. හෙන්රි අවසානයට රංගගත කළේ ‘සිරිසඟබෝ’ යැයි මම සිතමි. එය පැරණි නූර්ති නාට්‍යයක නවීකරණයක් විය. එය වේදිකා ගත වූයේ 1978 දීය. එදා මෙදාතුර අවුරුදු 30 ක පමණ කාලයක් ගෙවී ගොස් ඇත. ඒ අතරවාරයේ හෙන්රි අතින් අලුත් නාට්‍යයක් ලියා හෝ පරිවර්තනය කොට නිෂ්පාදනය නොවුණේ ඇයි? මම එම ප්‍රශ්නය වරක් හෙන්රිට යොමු කරද්දී ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙපරිදිය.

‘ප්‍රධානම කාරණාව ආර්ථික ප්‍රශ්න. එදා අපි ‘හුණුවටයේ කතාව’ නිෂ්පාදනය කළේ රුපියල් එකොළොස් දාහකින්. අනික එකල නාට්‍ය නිෂ්පාදන සඳහාම පවත්වාගෙන ගිය බැංකු ගිණුමකුත් අපිට තිබුණා. අද නාට්‍යයක් කරන්න ලක්ෂ ගාණක් ඕනෑ. ඒ වියදම් කරලත් නාට්‍යයක් කෙරුවයි කියමු. ඒත් කොහොමද ඒක පවත්වාගෙන යන්නේ? ඉස්සර නම් දුර පළාතක නාට්‍යයක් කරලා රෑ නිදි වරාගෙන ඇවිත් උදේට රැවුල කපාගෙන කන්තෝරු යනවා. දැන් එහෙම කරන්න බැහැ. දැන් අපි වයසයි’.

හෙන්රි හැත්තෑව අසූව දශකයේදී චිත්‍රපට කීපයකම රඟපෑවේය. ‘මරුවා සමඟ වාසේ’, ‘හඳයා’, ‘හංස විලක්’, ‘බැද්දේගම’, ‘තණ ගිරවි’ ඉන් කීපයකි. එහෙත් හෙන්රි වැනි චරිතාංග නළුවකුගෙන් ඊට වැඩි මෙහෙවරක් සිංහල සිනමාව විසින් ගත යුතුව තිබුණාය යන්න මගේ විශ්වාසය වෙයි.

හෙන්රි පසු කලෙක වාණිජ මට්ටමේ චිත්‍රපටවල රඟ නොපෑ හෙයින් ඔහු පොදු ජන රසිකයන් අතරට වඩාත් සමීප වූයේ ටෙලි නාට්‍ය ඔස්සේ යැයි කීම නිවැරදිය. විශේෂයෙන් ‘දූ දරුවෝ’ ටෙලි වෘත්තාන්තයේ සුදු සීයාගේ චරිතයෙනි.

‘ජීවිතය දිහා ආපසු හැරිලා බලද්දී මිස්ටර් ජයසේනට මොනවද හිතෙන්නේ?’

හෙන්රි හමු වී ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වූ මොහොතක මම ඔහුගෙන් එසේ විමසීමි. ඔහු මේ අයුරින් පිළිතුරු දුන්නේය.

‘මම මොහොතකටවත් හිතන්නේ නැහැ, මං වෙන කවුරු හරි වුණා නම් කියලා. මාව ආයෙත් මුලට ගෙනැල්ලා කවුරු හරි කිව්වොත් මෙන්න උඹට පාරවල් කීපයක් තියෙනවා. උඹ කැමැති පාරක් තෝර ගනින් කියලා කිව්වොත් මම ඒ අවස්ථාවේ තෝරා ගන්නෙත් මේ ආපු පාරම තමයි’.

තම ප්‍රියාදර බිරිය වන මානෙල් ගේ වියෝවෙන් පසු හෙන්රි අද ජීවත් වන්නේ තම එකම පුතු හා ලේලි සමඟ ගල්කිස්ස කලාපුරයේ නිවෙසකය. හෙන්රි මානෙල් මුලින් විසුවේ නුගේගොඩ පැපිලියාන පාරේ නිවෙසකය. මා ගොස් ඇත්තේ එම නිවෙසටය.

‘බැන්දයින් පස්සේ අපි අවුරුදු ගාණක් ජීවත් වුණේ කුලී ගෙවල්වල. මේ ගෙයි ගලක් ගලක්, වැලි කැටයක්, සිමෙන්ති කොට්ටයක් කොට්ටයක් පාසා තියෙන්නේ අපි වේදිකාවේ හළපු ලේ, කඳුළු, දහඩිය. අපි පොහොසත් මිනිස්සු නෙමෙයි. අපි මේ විදියටත් ඉන්නේ බුද්ධිය හා ශාරීරික ශ්‍රමය වගුරුවමින් ඉපැයූ මුදලින්’.

හෙන්රි තම නිවෙස ගැන කතා කරමින් එදා මා සමඟ එසේ කීවා මට මතකය.

හෙන්රි වරක් මීට් බෝල් දැන්වීමක පෙනී සිටියේය. මා දන්නා හෙන්රි මස්, මාළු නොකන අයෙකි. එහෙත් ආර්ථික හේතු මත හෘදය සාක්ෂියට විරුද්ධව වුව මෙබඳු දැන්වීම්වලට පෙනී සිටීමට සමහරුන්ට සිදු වෙයි.

‘ඔබට ජීවත් වෙන්න විශ්‍රාම වැටුපක් ලැබෙනවානේ. ඉතින් ඇයි මේ වගේ වැඩ කරන්නේ?’

‘ඒ ලැබෙන විශ්‍රාම වැටුපෙන් ජීවිතය ගැට ගහ ගන්න බැහැ දරුවෝ. එයින් කරන්න පුළුවන් මහලු මඩමකට යන එක විතරයි. වතුර බිලයි, ලයිට් බිලයි, ටෙලිෆෝන් බිලයි ගෙව්වම ඒක ඉවරයි. සමහරු මට බනිනවා රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටිනවය කියලා. එත් අපි මොනව කරන්නද? එපිසෝඩ් 50 කින් යුතු ටෙලි නාට්‍යයක රඟපානවට වඩා ආදායමක් එක දැන්වීමක පෙනී සිටීමෙන් ලබන්න පුළුවන්. අපිට නිකම් ගෙදර ඉඳගෙන ආදායම් ලබන්න පොල් වතු, රබර් වතු නැහැනේ’.

හෙන්රි එසේ උත්තර දුන්නේය. මා ඉහත සඳහන් කළ දැන්වීම රූපවාහිනියෙන් ඉදිරිපත් වූ වකවානුවේ හෙන්රි ‘හුණුවටයේ කතාව’ නාට්‍යයේ දැක්මක් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ‘වළේ’ පැවැත්විණි. ශිෂ්‍යයන් පූර්ව සූදානමකින් සිටියේ නාට්‍ය අතරවාරයේ හෙන්රිට ‘හූ’ කීමටය. එහෙත් නාට්‍යය සාර්ථකව රඟ දැක්වුණු බැවින් ශිෂ්‍යයෝ එසේ නොකර නාට්‍යය රස වින්ඳාහ.

කලකට ඉහත දී හෙන්රි බලවත් සේ රෝගාතුර වූයේය. ඔහුට වැළැඳී තිබුණේ පිළිකා රෝගයයි. එහෙත් රෝගය කල් ඇතිව හඳුනා ගැනීම නිසාත් නිසි ප්‍රතිකාර ලැබීම නිසාත් හෙන්රි සුවපත් වූයේය. ඒ අවස්ථාවේ හෙන්රි ළඟම සිට උවටැන් කළේ දයාබර බිරිය මානෙල්ය. හෙන්රි - මානෙල් අන් අයට ද ආදර්ශයක් වන සේ හොඳින් පවුල් ජීවිතයක් ගත කළ නළු නිළි යුවළක් සේ කලා ක්ෂේත්‍රයේ පිළිගැනීමක් තිබිණි. හෙන්රි ‘හුණුවටයේ කතාව’ විසි වැනි සංවත්සරයේදී ඒ සුවිශේෂී රැඟුම පුද කළේ මානෙල්ටය. ඔහු මෙසේ ලියා ඇත.

මේ විසි වසර තුළ ඇතැම් විට හෙම්බත්ව සිටියදී පවා එක ද දසුනක් හෝ නොපැහැරක දිගටම දසුන් දහසෙක ගෲෂා පණ පෙවූ පසු කලෙක හුණුවටයේ මුළු බර කර පින්නා ගත් ඔබට පුදමි මේ රංගය ලක්ෂ්මී මානෙල් මා දයාබර බිරිඳ එහෙත් කිසිවකු සිහිනෙකින්වත් නොසිතූ පරිදි මානෙල් හෙන්රි තනි කර දමා මෙලොවින් සමු ගත්තේය.

‘මානෙල් මාව බේරා ගන්න හුඟාක් උත්සාහ කළා. ඒත් මට ඇයව බේරා ගන්න බැරිව ගියා’.

හෙන්රි බොහෝ අවස්ථාවල එසේ කියයි. හෙන්රි රෝගීව සිටියදී පොතක් ද ලීවේය. ඒ ‘බාල ගිලානෝ නොහොත් රෝගියකුගේ කතාවක්’ ය.

0 comments:

Post a Comment