----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

එදා ළමා ගායිකාවක වූ ශිරෝමාලා අද ‘ආච්චි’ කෙනෙක්

Tuesday, March 15, 2011

හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
විලේ උන්නු ඉබ්බා දැකලා වතුරෙ නෑවිලා
ඉබ්බා දැකපු හාවා ඉවුරෙ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමු ද
ඇහුවා ළංවෙලා...!

(පද – කරුණාරත්න අබේසේකර)

දශක හතරකට පමණ පෙර වයස අවුරුදු හතක් වත් නොවුණු දැරියක් ප්‍රසංග වේදිකාවෙන් සහ ගුවන් විදුලියෙන් ගායනා කළ ”හිංචි පිංචි හාවා” ගීතය එදා මෙන්ම අදත් ළමා පරපුර අතරේ ජනපි‍්‍රය ගීතයකි.

මෙරට ළමා ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් වූ එම කාලයේ ඇය ගායනා කළ “චූටි දුවේ සුදු රන් කැටියා” – “මුල් අකුරට මගෙ හෝඩි පොතේ” – “රණ මොනරෝ” – “කොටු වැටිච්ච පුංචි සරම” සහ “ලස්සනයි පි‍්‍රයංකරයි උපන්න රට මගේ” වැනි ගීතද යුගයෙන් යුගයට පවතින ළමා ගීතාවලියේ අමතක නොවන ‘ගී මුතු’ ලෙස හැඳින්වීමට හැකිය.

එම ගීත එදා ගයද්දී පුංචි දැරියකව සිටි ශිරෝමාලා ප්‍රනාන්දු අද මිත්තණියකව “ස්වර වර්ණ” මෙවර වර්ණ ගන්වන්නට එක් වූවේ මෙසේ ය.

”මං පුංචිම කාලේ මගේ පියා බොහෝ කැපවීමෙන් නිර්මාණය කරලා දුන්නු ගීත මම ගායනා කළේ. පියාගේ වියෝවෙන් පසුව මට ඔහුගෙන් ලැබුණු රැකවරණය සහ මඟ පෙන්වීම අහිමි වූ නිසා දිගටම සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින්න නොහැකි වුණා.

පසුගිය කාලයේ කිසිදු විමසුමකින් තොරව මගේ ගීත විවිධ අයුරින් දරුවන් යොදා ගායනා කරවා මුදල් උපයන සටකපට පුද්ගලයන් වගේම මගේ ගීත ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් ආදියෙන් ගායනා කරන නමුත් මෙම ගී ගායනා කළේ මා බව කීමට තරම් වත් සදාචාර සම්පන්න නොවන අයුරු මා අත්දැක්කා.

මට පමණක් නොවේ මේ අසාධාරණය ඒ කාලේ ළමා ගීත ගායනා කළ හැමෝටම වාගේ සිදුවෙනවා. මේ ක්‍රියාදාමය අපේ ළමා ගීත ක්ෂේත්‍රයට වගේම අනාගත ළමා පරපුරටත් යහපතක් නොවේ. යුතුකම් වගකීම් නොදන්නා පුද්ගලයින් ඉන්න ක්ෂේත්‍රයක ‘වල් බිහි වෙන්නාක් මෙන් ළමා ගායක ගායිකාවන්’ බිහි කළාට පමණක් යහපතක් සිදුවෙන්නේ නැහැ.”

”ඔබ කතා කරන්නේ කලකිරීමෙන්ද?”

”ඔව්, අද ළමා ගීත ක්ෂේත්‍රය ගැන විමසා බලන කා හට වුවත් මේ කලකිරීම ඇති වෙන්න ඕනා. අද දරුවෝ ගායනා කරන්නේ වැඩිහිටියන්ගේ ගීත. දරුවන්ට ගායනා කිරීමට සුදුසු ළමා ගීත නැහැ. වැඩිහිටියෝ තම දරුවන්ව ඔරොත්තු නොදෙන තරමේ තරගකාරී ස්වභාවයකට පත් කරලා. ඔවුන්ට

ශිරෝමාලා ළමාවියේ

යහපත් මානසිකත්වයක් ඇතුව අලුත් ළමා ගීත නිර්මාණය කරන්න නිසි මඟ පෙන්වීමක් නැහැ. වගකිව යුත්තන්ගේ අවධානය ළමා ගීත පිළිබඳව යොමු වෙන බවක්ද පෙනෙන්න නැහැ.”

චූටි දුවේ සුදු රන් කැටියා
දොයියන්නකෝ මගෙ කිරි කැටියා
කියමින් මා නැළවූ අම්මා
දෝත නගා වඳිනෙමු අම්මා...!

(පද – ක්ලෝඩ් ද සොයිසා)

ළමා ගීත ක්ෂේත්‍රයට ගීත ගායනයෙන් අගනා මෙහෙවරක් ඉටු කර ඇති ශිරෝමාලා “චූටි දුවේ සුදු රන් කැටියා” ගීතය ගුවන් විදුලියේ “හඳමාමා” ළමා වැඩ සටහනින් මුලින්ම ගායනා කර ඇත්තේ වයස අවුරුදු හයේදී ය.

සිය පියා වූ කැමිලස් ප්‍රනාන්දුගේ තනුව අනුව එම ගීතය ගැයීමෙන් පසු ඇයට ගී ලොවේ දොරටු විවෘත වීමට වැඩි කාලයක් ගත වී නැත. එවකට ජනපි‍්‍රයව පැවති ගී තැටි නිෂ්පාදනයක් වූ “සරස්වතී” ලේබලය යටතේ ගීත හතරක් ගායනා කිරීමට ශිරෝමාලාට අවස්ථාව ලැබී ඇත. ඒ මතක ඇයට තවමත් අසිරිමත් ය.

”දළුගම තිබූ සරසවි ශබ්දාගාරයේදී තමයි ගීත පටිගත කළේ. රෑ එළිවෙන තුරුම මට දුක් විඳගෙන ඒ ගීත ගයන්න වුණා. මට නිදිමත වෙනකොට තාත්තා මගේ ඇස් දෙකේ වතුර ගානවා. කොහොම හරි ඊට පස්සේ සංගීත සංදර්ශනවල ගීත ගයද්දී ඒ ගීත වලට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තම හරිම සතුටක් දැනුණා. එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, ලතා වල්පොල වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් ලැබුණු අගය කිරීම සහ ආදරය ඒ දවස්වල මට විශාල ශක්තියක් වුණා.”

”ඔබ ගායිකාවක් ලෙස ආ ගමන නැවතුනේ කොහොමද?”

”ඒ ගමන සම්පූර්ණයෙන්ම නැවතුනේ නැහැ. ඉඳහිට තෝරා ගත් ප්‍රසංගවල ගීත ගායනා කළා. එහෙත් පූර්ණ කාලීනව ගායනයටම කැපවී ඉන්න නොහැකි වීමට ප්‍රධාන හේතුව වුණේ මගේ පියාගේ වියෝව තමා. ඉන්පසු ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස වෙලින්ටන් ප්‍රනාන්දු සමඟ 1980 මැයි 17 වැනිදා මගේ විවාහය සිදු වුණා. එතකොට මගේ වයස අවුරුදු දාසයක් විතර ඇති.

විවාහ ජීවිතයේ බිරිඳකගේ වගකීම් සමඟ ගායිකාවක ලෙස කටයුතුත් සමබරව කරගෙන යන්න තරම් මේරුකමක් ඒ වනවිට මට තිබුණේ නැහැ. එයත් හේතුවක් වුණා ගායිකාවක් ලෙස ආ ගමන අතරමඟ නවත්වන්න.

දරු මුණුබුරන් සමඟ

චමිලා, චමීර, යුරංග මගේ දරුවෝ. චමිලා දුව විවාහ වී සිටින්නේ දුලන්ත සමඟ. ඔවුන්ගේ ;මනුලි සහ ලිසාරා දුවලා දෙන්නා නිසා මම දැන් මිත්තණියක් වෙලා.”

එහෙත් අසූව දශකයේ අග භාගයේදී නැවත ගීත ගායනයට එක් වෙමින් “මල් වසන්තයේ” නමින් ගීත ඇල්බමයක් ශිරෝමාලා නිකුත් කළා ය. එහි අඩංගු වූ ඇය ගායනා කළ “වාසනා සිනා” – “සුමුදු පෙති තලා” සහ “මල් වසන්තේ හිඳින්න මා ළඟින් ඔයා” වැනි ගීත එවකට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ නිතර ඇසුණු ගීත විය.

විදේශීය මාර්ග උපදේශකයෙකු ලෙස කටයුතු කරන සැමියා නිතර විදේශ ගත වීම නිසාත් ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කරන සිය ව්‍යාපාරයේ කටයුතු බහුල වීම නිසාත් නැවතත් ශිරෝමාලාට ගීත ගායනයෙන් ඈත් වීමට සිදුවිය.

මේ දිනවල ඇය සිය ව්‍යාපාරයේ කටයුතුවල නියුතු වී සිටින අතර සිය මිණිබිරිය වන මෙනුලි සමඟ සුවිශේෂ කටයුත්තකට සූදානම් වෙමින් ද සිටී. ඒ පිළිබඳ ශිරෝමාලා “රසඳුන” සමඟ පැවසුවේ මෙලෙසින් ය.

”මා ගායනා කරපු ළමා ගීත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා ගීත බව මේ රටේ හැම කාලෙකටම අයත් ගීත රසික ජනතාව පිළිගෙන තිබෙනවා. මුදල් කෑදරකමින් එම ගීත විකෘති කර විනාශ කරන පිරිසක් ඉන්නවා. මා තවම ජීවත්ව ඉන්නා බව වත් ඔවුන් හිතන්නේ නැහැ.

මගේ මිණිබිරිය මෙනුලි මගේ ගීත හොඳින් ගායනා කරනවා. මෙනුලි ගායනා කරන මා ගැයූ ළමා ගීත සියල්ල සමඟ අලුත් ළමා ගීත කිහිපයක් ඇතුළත් ගී ඇල්බමයක් නිකුත් කිරීමට කටයුතු මේ දිනවල කරගෙන යනවා.

සැබැවින්ම දරුවන්ට ගායනා කිරීමට හැකි ඔවුන්ට සුදුසු ළමා ගීත පමණක් ඇතුළත් වන මෙම ගීත ඇල්බමයේ අපේ ප්‍රවීණ පද රචක කරුණාරත්න අබේසේකර ලියූ ගීත මෙන්ම සංගීතවේදී වික්ටර් දළුගම තනු නිර්මාණය කළ ගීත සමඟ රසබර ළමා ගීත රාශියක් වීම විශේෂයක් වේවි. ඒ වගේම ඉදිරියේදී මගේ පුතා යුරංග සමඟ ගයන ගීතයක මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුලකම නිසා පූර්ණ කාලීනව ගීත ගායනය නොකළාට ලැබෙන ආරාධනා අනුව සුදුසු අවස්ථා තෝරා ගෙන තවමත් මම ගීත ගායනා කරනවා. මට මේ හැකියාව පුංචි කාලයේදීම දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක්. ඉතින් ජීවත් වනතුරු ගීත ගයන්නේ නැතුව ඉන්න නම් කවදාවත් මට බැරි වේවි.”

ජෝජ් රොබ්සන් ද සිල්වා

Copy Rights - Silumina

0 comments:

Post a Comment