----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නරිබෑනා ස්වර්ණ ජයන්තිය ගැන පළමු ගම දුව සිහිපත් කරයි

Sunday, March 13, 2011

නරිබෑනා ස්වර්ණ ජයන්තිය ගැන පළමු ගම දුව සිහිපත් කරයි

ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා’ වේදිකා නාට්‍යයට වසර 50 ක් සපිරෙන මොහොතේ, පැරණි මතකය යළි සිහි ගන්වන්නට අප සමඟ එක්වන්නේ ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේනයි. ඇය ‘නරිබෑනා’ හි ගම දුවගේ චරිතය රැඟූ පළමු රංගන ශිල්පිනියයි.

ඇත්තටම නරිබෑනා මගේ කලා ජීවිතයේ ලොකු පරිවර්තනයක් කරපු නිර්මාණයක්. කලාවේ ඉදිරියට යන්න නරිබෑනා මට ලොකු පිටිවහලක් වුණා. ගම දුවගෙ චරිතය රඟපෑවට පස්සේ තමයි හුඟක් නිර්මාණවේදීන් මාව එයාලගෙ නිර්මාණවලට ගත්තෙ. නරිබෑනා ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එද්දී එහි ගම දුව ලෙස රඟපාන්න ලැබීම මගේ වාසනවක්.

‘නරිබෑනා’ වේදිකා නාට්‍යයෙ රඟපාන්න ඔබට අවස්ථාව ලැබුණෙ කොහොමද?

මම ඉගෙන ගත්තේ මරදාන ගෝතමී බාලිකාවෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම කලාවට ලොකු කැමැත්තක් දැක්වූවා. මගේ දෙමව්පියන්ගෙන් ඒ වෙනුවෙන් මට උදව් ලැබුණා. වෙනත් නාට්‍යයක පුහුණුවීම්වලට ගියහම බීට් කුමාර පතිරණ තමයි මාව දයානන්ද ගුණවර්ධන මහතාට හඳුන්වලා දුන්නෙ. ඒ තුළින් තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.

කුමටද සොබනියෙ කදුළු සලන්නෙ

හේතුව මම නොදනිම්

ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට

මම ඔබ ගෙන යන්නම්

ඔබ හට හැම සැප එහි දෙන්නම් . . .

ගම දියණියගේ රැඟුම් රඟද්දී මතකයේ රැඳුන දේ පවසමින් ඇය නැවත සිය හඬ අවදි කළාය.

ඒ නිර්මාණය මතක් වෙන හැම මොහොතකම හිතට දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මාත් එක්ක රඟපෑ සාලමන් ෆොන්සේකා (නරියා), පුෂ්පා අබේකෝන් (මවගේ චරිතය) වගේම සංගීත නිර්මාණය කළ ලයනල් අල්ගම මහතා, නරිබෑනා නිර්මාතෘ දයානන්ද ගුණවර්ධන මහතාත් මගේ මතකෙට නිරායාසයෙන්ම නැගෙනවා.

ඒ අතරින් සාලමන් විශේෂයි. ඔහු උපතින්ම රංගන හැකියාව රැගෙන ආපු කෙනෙක්. නරියා ලෙස ඔහු ඉදිරිපත් කළ ඒ අපූරු රංගනය පරදවන්නට වෙන කිසිවකුට නොහැකි වුණා කියලා කීම මම කාටවත් කරන අසාධාරණයක් නෙවෙයි.

නරිබෑනා රඟපාන අතරතුරේ තමයි මගේ විවාහය සිද්ධ වුණේ. සාලමන් තමයි මගේ මංගල කේක් ආකෘතිය නිර්මාණය කරලා දුන්නෙ. නාට්‍ය රඟපාද්දී අපි තුළ තිබුණ සාමුහික බව හරි සුන්දරයි.

ශ්‍රියානිගේ සොඳුරු රැඟුමින් සපිරි ගම දියණියගේ චරිතයට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාරද අසීමිතය.

එහෙත් ශ්‍රියානි ගම දියණිය ලෙස ප්‍රේක්ෂකයා වෙත ආවේ වසර 4 ක කාලයක් පමණි.

මට ඉනෝකා දුව ලැබෙන්න ඉන්න කොට තමයි නාට්‍යයෙන් අයින් වුණේ. මට පස්සේ ගම දියණියගේ චරිතය රඟපාන්න පැමිණි ශිල්පිනියට මම පුහුණුවීම් පවා ලබා දුන්නා. දුව ලැබුනට පස්සේ දුවගෙ වැඩ කටයුතු නිසා මම නැවත නරිබෑනා නාට්‍යයට සම්බන්ධ වුණේ නැහැ.

ඒ ගිලිහී යාම ගැන දුකක් ඇති වුණත්, නරිබෑනා නිර්මාණය ගැන කතා කරන හැම මොහොතකම, එතනදි මා ගැනත් කතා කරන තරමටම, එහි කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මා තුළ තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

0 comments:

Post a Comment