----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ටෝනි ගේ ලණු ගැන අනුලා සිහිපත් කරයි

Monday, March 7, 2011

බොල්ගොඩ ගඟේ ළවැලි තලාවේ දෙදෙනකුගේ පිය සටහන්ය. බොහෝ කලකට පසු මුණ ගැසුණු මේ දෙපොළ මොන මොනවද මුමුනමින් ඉදිරියට ඇදෙයි. පිය සටහන් නොමැකෙන්නට පිය නගමින් මම ඔවුන් පසුපස ගියෙමි. කවුරුන් හෝ තමන් ලුහුබැඳ එන වග ඉවෙන් මෙන් දැනුණු දෙදෙනා එක වරම ආපසු හැරී බැලුවෝය.

මේ ප්‍රවීණයන් දෙපොළව හඳුන්වා දීමට වැල්වටාරම් අවැසි නොවෙයි. රූපකාය පමණක් සෑහේය. එහෙත් ඔවුන්ව නමින් හඳුන්වා දීම මගේ යුතුකමක් වන්නේය.

ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක. දශක ගණනාවකට පසුව ටෝනිත් අනුලාත් එක්ව රඟයි. අලුත් ගෙදර නම් වූ එය රවීන්ද්‍ර විජේරත්නගේ අධ්‍යක්ෂණයක් වන අතර තරංග දිසානායකගේ නිෂ්පාදනයකි.

ටෝනි සහ අනුලා ගේ රංගන හමුවීම සහ මේ සටහන ලියන මා ඔවුන්ව මුණ ගැසුණේ ද අලුත් ගෙදර හි බණ්ඩාරගම දර්ශන තලයේදීය. ඔවුන් දැන් රසබර අතීතයක අල ගිය මුල ගිය වැල ගිය තැන් මා ඉදිරියේ දිග හරින්නට සූදානමිනි.

අපි කතාව කොහෙන්ද පටන් ගන්නේ? මම ඇසුවෙමි.

පුතාම අහන්නකො බලන්න, එතකොට අපි උත්තර බඳීන්නම්.

ඒ තවමත් වියපත් නොවූ ටෝනිගේ හඬය.

දෙන්නා මුලින්ම රංගන ලෝකයේදී හමු වුණේ කොයි කාලේ වගේද?

මගේ මතකයේ හැටියට අපි චිත්‍රපටයකදී එකට රඟපෑවේ ගම්පෙරළියේ. ඒ 1962 අවුරුද්දේ. ඒකේ බලදේව හැටියට මමත් ළසඳා ලෙස අනුලත් චරිත නිරූපණයේ යෙදුණා. ඊට ප්‍රථම ධර්මසේන වික්‍රමරත්නගේ රන් තෝඩු වේදිකා නාට්‍යය කරද්දිත් අපි හමුවෙලා තියනවා. අද වගේම තමයි අනුලා ගාව ලැජ්ජාශීලී ආඩම්බරකමක් තියනවා. ඇය වැඩිය නාඳුනන අයත් එක්ක කතාබහ කරනවා අඩුයි. ඒත් මුල්ම හමුවේදීම අපි බොහොම හිතවත් වුණා. ඒ බැඳීම එදා වගේම නොඅඩුව අදටත් අපේ සිත්වල තිබෙනවා.

ටෝනි අතීතාවර්ජනය ඇරැඹුවේය.

දෙන්නා එකට රඟපාපු චිත්‍රපට කිහිපයක් මතක් කරමුද?

මම අනුලා අක්කාගෙන් ඇසීමි.

ගම්පෙරළියෙන් පසුව රන්සළු, නාරිලතා, ඇතුළු චිත්‍රපට ගණනාවක අපි එකට රඟපෑවා. ඒ අතර මේ දෙයත් කණගාටුවෙන් මතක් කරන්න ඕනෑ. ධර්ම ශ්‍රී කල්දේරාගේ මුව දඩයම චිත්‍රපටයේ ටෝනිත් මමත් රංගනයේ යෙදුණේ ඉතාම උනන්දුවෙන් සහ කැපවීමකින්. අවාසනාවට එය තිරගත වුණේ නැහැ. අපටත් ආසයි ඒ චිත්‍රපටය නරඹන්න.

කොහොමද ටෝනි කැමරාව ඉදිරියේදී ලබා දුන් සහයෝගය?

ඒ ගැන නම් කිව යුතුමයි. නළුවකුට හෝ නිළියකට කැමරාව ඉදිරියේ තනිවම රඟපාන්න බැහැ.(දෙදෙනකු හෝ ඊට වඩා වැඩි ගණනක් ඉන්න දර්ශනයකදී) ඒ සඳහා අනිත් අයගෙන් සහයෝගය ලැබිය යුතුමයි. මමත් සමඟ ටෝනි රංගනයේ යෙදෙන සෑම අවස්ථාවකදීම ඔහු ලබා දුන්නේ නොඅඩු සහයක්. ඔහුත් මාත් සිටින දර්ශනයක් රූගත කරද්දී ටෝනි දෙබස් කියා නිම වන විටම ඊට ම’වෙතින් සිදු විය යුතු කාර්ය වන්නේ ඉබේමයි. දෙබසක් නම් නිරායාසයෙන්ම කියවෙනවා. මුහුණේ හැඟීමක් නම් ඒත් එහෙමමයි.

අනුලා එහෙම කියද්දී ටෝනි නිහඬව මේ සියලු දේවල් අසා සිටින්නේ සොඳුරු සිනහවක් ද මුවෙහි සටහන් කර ගනිමිනි.

මගේ මීළඟ පැනය ටෝනිටය.

අනුලාගේ රංගනය ගැන බොහෝ දේ පවසන්නට ඇති? එහෙම නේද?

ඇත්තටම අනුලා ගැන කියන්න වැදගත් දේවල් කිහිපයක් තියනවා. ගොළු හදවත චිත්‍රපටයේ දම්මි ලෙස ඇය කළ චරිතය වෙනත් කෙනෙකුට ලැබුණා නම් එහි අසාර්ථකත්වය කෙසේ වේවිදැයි මටවත් හිතා ගන්න බැහැ. එහෙත් එහෙම වුණේ නැහැ. ඒ විදිහට බලන කළ අනුලා භාග්‍යවන්තියක්. ඇය ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන දම්මිව නිරූපණය කළ හැටි අද්විතීයයි. ප්‍රශංසනීයයි. මං හිතනවා රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට එක්තරා අවස්ථාවක් ලැබෙනවා තමාගේ උපරිම දක්ෂතා එළියට දාන්න. අනුලට ඒ අවස්ථාව හිමි වුණේ ගොළු හදවතින්.

එයට පසුව අනුලාගේ රංගනයන් වාර කිහිපයදී මා දුටුවා. පරසතුªමල් ඉන් එකක්. එහෙත් අනුලා වගේ නිළියක්ව අගය කළා මදි යැයි මට විටෙක හිතෙනවා.

තව දෙයක් මතක් කළ යුතුයි. අනුලාට විවිධාකාර චරිත ලැබීගෙන එද්දී ඇගේ විවාහය නිසා රංගනයෙන් සමුගන්නට සිදු වෙනවා. හදිසියේවත් දිගටම රංගන චාරිකාවේ යෙදුනා නම් ඇය අවස්ථා ගණනාවකදී සම්මානනීය වන්නට තරම් චරිත ලැබෙන්නට තිබුණා.

ටෝනි රණසිංහයන් එක්තරා යුගයක ලණු දීම සම්බන්ධව සිනමා ක්ෂේත්‍රය තුළ සුපතලව සිටියේය. අපේ ඇතැම් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් ටෝනි අයියා ගේ ලණු නිසා ඇස් රතු කර ගත් අවස්ථා ද එමටයි.

වියපත් මිනිසකු හැටියට අද මං කණගාටු වෙනවා ඒ සම්බන්ධව. සමහරෙකුට මං දීපු ලණු දිරවා ගත නොහැකි වුණා. එහෙත් අද ඒවා රසවත් කතා බවට පත් වෙලා තියනවා.

ලණු දීලා කාව හරි සමච්චලයකට පත් කරපු අවස්ථා කතා කරන්න මං කැමැති නැහැ. ඒවා කිව්වොත් වෙන්නේ මං මාවම සමච්චලයකට පත්කර ගන්න එක.

ඒ ටෝනි අයියාගේ අද මතය.

එයා එහෙම කිව්වට මං කියන්නම්කො මෙයා මට කරපු හොඳ වැඩක් ගැන.

අනුලක්කා සිහිපත් කළාය.

මමයි ෆ්‍රෙඩී සිල්වයි හොඳ යාළුවෝ. එක දවසක් අප චිත්‍රපටයක් රූගත කරද්දී උදෑසන ෆ්‍රෙඩීව මට හමු වුණා. ඔහු ඉතාම සුහදව වෙනදා මෙන්ම මාත් එක්ක කතාබහ කළා. දහවල් කෑමෙන් පස්සේ ෆ්‍රෙඩී මට දකින දකින තැන දී ඔරවන්නත් මාව මග හැරලා යන්නත් පටන් ගත්තා. මට මේක මාර ප්‍රශ්නයක් ඒ ඇයි කියලා. ෆ්‍රෙඩීගෙන් අහන්නත් බැහැ. ටික වෙලාවකින් මට ඇත්ත සිද්ධිය දැනගන්නට ලැබුණා. ටෝනි, ෆ්‍රෙඩීට කියලා මං ආසම නැති නළුවත්, රඟපාද්දි බලන් ඉන්න බැරි නළුවත් ෆෙ‍්‍රඩී සිල්වා කියලා. කෙසේ හෝ ඇත්ත හෙළි වුණාට පස්සේ ෆෙ‍්‍රඩීම ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා.

අපි දැන් කතා කරමු අලුත් ගෙදර නාට්‍යය පිළිබඳ? කොච්චර කාලෙකට පස්සෙද දෙන්නා එකට රඟපාන්නේ?

අතීතයේ රස ගුලාවේ සිට අපි වර්තමානයට පැමිණියෙමු.

අපි දෙන්නා අවසන් වතාවට එකට රඟපෑවේ විජයපාල හෙට්ටිආරච්චිගේ පේනවා නේද චිත්‍රපටයේ. ඒ 1969. ඒ අනුව බලන කළ අවුරුදු 42 කට පසුවයි අනුලත් එක්ක රඟපාන්නේ.

අලුත් ගෙදර නාට්‍ය ගැන යමක් පැවසුවොත් මේක වැඩිහිටි නිවාසෙක කතාවක්. ජී. ආර්. පෙරේරා, විජේරත්න වරකාගොඩ, රම්‍යා වනිගසේකර, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා, නාමෙල් වීරමුණි, අයිරාංගනී සේරසිංහ මෙහි රඟපානවා. එහි උපුල් නම් වූ චරිතයයි මං නිරූපණය කරන්නේ. උපුල් තමා ආදරය කළ ප්‍රේමවන්තියව විවාහ කර ගත නොහැකි වූ සොවින් පෙළෙන කෙනෙක්. ඇයත් දැන් මහළුයි. ඒත් ඇය උපුල්ව බලන්න එනවා. උපුල්ට තියෙන්නේ බොහොම සංවේදී කලාකාමී හිතක්. ඒ නිසා හැගුම්බර වෙනවා වැඩියි.

අනුලා කියන්නකෝ ඉතුරු ටික?

අනුලා අක්කාට ඉතිරි ටිත කියන්න ඉඩ ඇරියේ ටෝනි අයියාමය.

අලුත් ගෙදර නාට්‍යයට මට ආරාධනා කළාම මං ඇහැව්වා ඉතුරු නළු නිළියන් ගැන. ඒ අතර ටෝනි ඉන්න බව දැනගන්න ලැබුණම හිතේ ඇති වුණේ පුදුම සතුටක්. මමත් එක හෙලාම කියා සිටියා ටෝනිව මේ නාට්‍යයෙන් අත හරින්න එපා කියලා. ඒ ඔහු ඉන්න එක මට ශක්තියක් නිසා.

අලුත් ගෙදර හි මං ලතා. ලතා හරිම අවිහිංසක අම්මා කෙනෙක්. ඇගේ දරුවන් ඇයව බලන්න එනවා තියා ලියුමක්වත් එවන්නේ නැහැ. එහෙයින් ඇය තනි වන වාර අපමණයි. මං හිතනවා වෙනස්ම කතා ආරකට ගොඩ නැගුණ අලුත් ගෙවල් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනියි කියලා. කලකට පසුව අප සමකාලීනයින් එක්ක රඟපාන්න ලැබීම සොඳුරු අත්දැකීමක්. ඒ වගේම තව එක් කෙනෙක්වත් මතක් කළ යුතුයි. ඒ අයිරාංගනී සේරසිංහ මහත්මියව. අප දෙන්නා සමඟ ඇයත් බොහොම කලාන්තරයකට පසුව අලුත් ගෙවල් නිසා එකට රඟපානවා.

Copy Rights - Sarasaviya

0 comments:

Post a Comment