----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

එන්න නැවත ඇවිත් වේදිකාවට ගොඩවෙන්න

Saturday, March 12, 2011

එන්න නැවත ඇවිත් වේදිකාවට ගොඩවෙන්න
ප්‍රවීන කලා ශිල්පී - නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස්‌

"ගැබ්බර මිනිසා" .... මේ ප්‍රවීන රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්‌ ගේ නවතම නාට්‍ය නිෂ්පාදනයයි. ශ්‍රියන්ත කලා ලෝකය තුළ බොහෝ භූමිකාවන්හි නියෑලෙන චරිතයක්‌ ලෙස හැඳින්වීමෙහි වරදක්‌ නැත. ඔහු වත්මනෙහි නාට්‍ය අනුමණ්‌ඩලයෙහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. නාට්‍ය අනුමණ්‌ඩලයක සභාපතිවරයකු ලෙස සිටිමින්ම යම් කලා ශිල්පියකු නාට්‍යයක්‌ නිපදවූ පළමු අවස්‌ථාව ලෙස ද මෙය සැලකිය හැකිය.

ශ්‍රියන්ත මෙන්ඩිස්‌ නම් ඔහු සමඟ කතාබහ කළ හැකි බොහෝ දේ තිබුණද මේ ප්‍රවිශ්ඨයත් සමඟ පමණක්‌ අද ඔහු සමඟ සංවාදයකට එළැඹෙන්නේ, ඔහු අතිශය කාර්ය බහුල මොහොතක සිටියදීය.

"ගැබ්බර මිනිසා" ගැන මුලින්ම කතාබහ කළොත්?

ඇත්තටම මේ දවස්‌වල "ගැබ්බර මිනිහා" නාට්‍යයේ මූලික පුහුණුවීම් කටයුතු සිදුවෙනවා. මම වසර එකොළහකට පමණ පසුවයි, මගේම නාට්‍යයකට ප්‍රවේශ වුණේ. මීට පෙර මම "පාදඩ අසපුව" නාට්‍යය නිෂ්පාදනය කළා. එය 2000 වර්ෂයේදී මම වේදිකාගත කළා.

ගැබ්බර මිනිසා නේද මට ලැබෙන්නේ. දාරියෝ ගෝ" ගේ කෙටි නාට්‍යයක අනුවාදයක්‌ හැටියටයි. එය අජිත් මෙන්ඩිස්‌ විසින් නාට්‍ය පිටපතක්‌ ලෙස ගොඩනඟනවා. මේක වෙනස්‌ හැඩයක්‌ තිබෙන නාට්‍යයක්‌ නිසා මට හිතුණා මෙය වේදිකාවට ගෙන ඒම සුදුසුයි කියන එක.

නාට්‍යයේ අනෙකුත් ශිල්පීන් ගැනත් අපි දැනගන්න කැමැතියි.

"ගැබ්බර මිනිසාගේ" චරිතයට පණ පොවන්නේ මම. ඊට අමතරව කුසුම් රේණු, සරත් කොතලාවල, මල්කාන්ති ජයසිංහ, වසන්ත විට්‌ටච්චි, සුජීව ප්‍රියලාල් හා නවක නිළියක්‌ අපි සම්බන්ධ කරගන්නවා මිහිරි ප්‍රියදර්ශනී යාපා කියලා.

විශේෂයෙන් කියන්න ඕන මෙහි සංගීතය ගැන. නාට්‍යයට සංගීතය සපයන්නේ "ඇන්තනි සුරේන්ද්‍ර" ඔහු ජනප්‍රිය අප්‍රකට සංගීතඥයෙක්‌ විශේෂයෙන් නාට්‍ය කලාවට..... මුලින්ම ඔහු පාදඩ අසපුව අපේ වේදිකා නාට්‍යයට සංගීතය සැපයුවා. අංග රචනය වසන්ත විට්‌ටච්චි, ඉදිරිපත් කිරීම ජූඩ් ශ්‍රීමාල්... ඉතා ඉක්‌මණින් ඒ කියන්නේ මාර්තු මාසයේ 30-31 දිනවල ලුමිබිණි රඟහලේ වේදිකාගත කිරීමට අපි ලහි ලහියේ පුහුණුවීම් කටයුතු සිදුකරනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස්‌ යන චරිතය නාට්‍යයක්‌ වෙනුවෙන් "ගැබ් ගැනීම" සාමාන්‍ය දෙයක්‌... නිතරම නාට්‍යයක්‌ හැදීමේ විලිරුදාවෙන් පෙළෙන බව ඔබම අප එක්‌ක පවසා තිබෙනවා.

ඇත්තටම මම මුල ඉඳලම වේදිකාවට අසීමිත ලෙස පෙම්බැඳපු කෙනෙක්‌. රංගධරයෙක්‌ හැටියට මගේ - අපේ, පෙකනිවැල කැපෙන්නේ වේදිකාවේදී බවයි, මම විශ්වාස කරන්නේ. අපි මීට වඩා වසර තිහකට පමණ පෙර වේදිකාව මත ප්‍රසූත වෙනවා, එතැනදී අප ආරම්භ කරන වේදිකා ක්‍රියාවලිය මොන තරම් දුක්‌ පීඩා ආවත් අප අතහැරියේ නැහැ. මම මොන තරම් කාර්ය බහුල මට්‌ටමක හිටියත්, මොන ක්‍ෂේත්‍රයේ හිටියත් ඔබ කිව්වා වගේ නාට්‍යයක්‌ නිසා ගැබ් ගන්නවා. නාට්‍යයක්‌ වේදිකාගත කිරීමේ විලිරුදාව හටගන්නවා. "ගැබ්බර මිනිසා" ශ්‍රියන්ත මෙන්ඩිස්‌ තුළ ගැබ් ගන්නෙත් ඒ ක්‍රියාවලිය නිසයි. ටෙලිනාට්‍ය, චිත්‍රපට මේ හැම දේම කළත් මේ තිඹිරිගෙය අමතක කරන්න බැරි මොකක්‌දෝ උණත් මට තියෙනවා. මේක බොහෝ කලාකරුවන්ට පොදු ලක්‍ෂණයක්‌. මම ආරාධනා කරනවා, වේදිකාව අතහැර ගිය කලාකරුවන්ට එන්න. නැවත ඇවිත් මෙය පෝෂණය කරන්න... මෙය අයිති උරුමක්‌කාරයන් ඔබමයි.

ඒත් ශ්‍රියන්ත නාට්‍ය වැඩිපුර නිෂ්පාදනය කරන්නේ යුරෝපය ඉලක්‌ක කරගෙන කියන කතාවකුත් තියෙනවා.

එහෙම කතාවක්‌ ගැන මට නම් ඇහිලා නෑ. එහෙම වෙන්න හේතුවකුත් නැහැ. සිංහල නාට්‍ය රසිකයකු ලෝකයේ කොහේ ජීවත් වුණත් ඔහුගේ අනන්‍යතාවය අප සතුයි. මේ මවුබිම එකයි. ලෝකයේ සතර දිග්භාගයේ ජීවත් වන ප්‍රේක්‍ෂකයන් නිරන්තරයෙන් අප සමඟ ගනුදෙනු කරනවා. මගේ පෞද්ගලික අදහසක්‌ තිබෙනවා ශ්‍රී ලාංකීය නාට්‍ය ලෝකයත් එක්‌ක මීට වඩා ව්‍යාප්ත විය යුතුයි කියලා. විශ්ව ගම්මානීය සංකල්ප තුළ එය එසේ සිදුවිය යුතුයි. අද කොළඹ ලුම්බිණියේ පෙන්නන නාට්‍යය නොව නිව්යෝර්ක්‌ නගරයේ, වොෂින්ටන් ඩිසීවල මෙල්බර්න්, ලන්ඩන්වල පෙන්නන්න හැකියාව තිබිය යුතුයි. මෙන්න මේ ක්‍රමවේදය හඳුනාගන්න අපි කිහිපදෙනෙක්‌ට ඒ රටවල ශ්‍රී ලාංකිකයන්ගෙන්ම ආරාධනා හා අවස්‌ථාවන් ලැබෙනවා. අපි ඒක ප්‍රයෝජනයට ගන්නවා.

ඒත් තවමත් නාට්‍ය කළත් එතරම් සාර්ථක වර්ධනයක්‌ දකින්න නැහැ කියන තත්ත්වය තුළ එවැනි ක්‍රියාදාමයක්‌ සාර්ථක වෙයිද?

මම කැමැතියි ඔබේ ඉරිදා පුවත්පතේ "තුන්වැනි පිටුව" ඔබේ අවධානය යොමුකරන්න. බලන්න මොන තරම් නාට්‍ය දැන්වීම් ගණනාවක්‌ පළවෙනවද කියලා. මම හිතන්නේ ඔය කියන තරම් අහේනියක්‌ නැහැ කියන්න ඒක දක්‌වන්න පුළුවන් ඉතාම සුළු උදාහරණයක්‌ විතරයි. නමුත් යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන් බව මමත් පිළිගන්නවා. අපි මොන තරම් දුරක්‌ ආවත් ඒ දුෂ්කරතා මැදමයි. මේ වසර වෙනකොට ප්‍රවීන අංකුර නාට්‍යකරුවන් රැසක්‌ නාට්‍ය

රැසක්‌ වේදිකාගත කිරීමට සූදානම්. "කරලියට වසන්තය ලැබෙනවා සත්සයි" කියන මා අත්දුටු සත්‍යයට මේක හොඳ පෙරගමනක්‌. ඒකට පූර්වාදර්ශයක්‌ හැටියටයි නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපතිවරයා හැටියට මම නාට්‍යයක්‌ කරන්න පෙළඹෙන්නේ. ඉතිං අපිට ඔබ ඔය කියන අභියයෝගය ජයගන්න බැරිවෙන්නේ නැහැ.

නාට්‍ය අනුමණ්‌ඩලයේ කිසිදු චරිතයකට හොඳක්‌ අහන්න පුළුවන්කමක්‌ තිබුණු බවක්‌ අපි පහුගිය කාලයේම දැක්‌කේ නැහැ. මේ අභියෝගයට ඔබ මූණ දෙන්න සූදානම්ද?

අපිත් ඉතිහාසයේ මේ චරිත සමඟ විටින් විට මතවාදීමය අර්බුදවලට පැටලුණා. මේකට එනකොටම මම ඉල්ලීමක්‌ කළේ මේක බැනුම් නොඅහන චරිතයක්‌ බවට පත්කරගන්නට මට අවස්‌ථාවක්‌ දෙන්න කියලා. මම කිව්වේ නාට්‍ය නරඹන්නන්ගේ පැත්තේ ඉඳගෙන වැඩ කරන්න මට අවස්‌ථාවක්‌ දෙන්න කියලයි. මම අද වෙනකොට ඔවුන් සමඟ ඉන්නවා. ඔවුන්ගේ ලේ දහදිය සුවඳ සෝසුසුම් මම දන්නවා. මම හිතන්නේ මට මෙය ලොකු අභියෝගයක්‌ නෙමෙයි. ඒ නිසාම නාට්‍ය කරුවාට දෙන්න පුළුවන් උපරිමය දෙන්න මම උත්සාහ කරනවා. සාම්ප්‍රදායානුකූලව බැනුම් අහනවාට වඩා එතැනින් ඔබ්බට ගිය වැඩක්‌ කරන්න මම ලෑස්‌තියි. යමක්‌ කරලා බැනුම් අහන එක හදවතට සුවයක්‌.

කාර්ය බහුල ජීවිතයක්‌ ගෙවන අයකු හැටියට ඔබගේ "ගුරු චරිතයට" සාධාරණයක්‌ ඉටුකරන්නේ කොහොමද කියලා දැනගන්න කැමැතියි...

ගුරු වෘත්තියට මම ඉතාම ප්‍රිය කරනවා. එය ඉතාම පූජනීය උත්තරීතර දෙයක්‌ හැටියටයි මම සලකන්නේ. මම කොතරම් කාර්ය බහුල වුණත් ඊට විශේෂ තැනක්‌ මුල් තැනක්‌ දෙන්නයි නිතරම උත්සාහ දරන්නේ.


උදේශ සංජීව ගමගේ
ඡායා - නිමල් දයාරත්න



Copy Rights - Divayina

0 comments:

Post a Comment