----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බන්දුල "රෝමය ගිනි ගනී 2" සමඟින්

Monday, March 21, 2011

බන්දුල "රෝමය ගිනි ගනී 2" සමඟින්


ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ හා කෘතහස්‌ත රංගවේදී රොජර් සෙනෙවිරත්න සුසංයෝගයෙන් බිහි වූ "රෝමය ගිනිගනී 2" මංගල දැක්‌ම මාර්තු මස 23 සහ 24 දිනවල සවස 6.30 ට මරදානේ , එල්ෆින්ස්‌ටන් රඟහලේදී වේදිකාගත වීමට නියමිත ය.

ශූර ප්‍රහසන නාට්‍යකරුවකු ලෙස නමක්‌ දිනූ බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යවේදී රේ කුනි විසින් ලියන ලද "Run for your wife" හි අනුවර්තනයක්‌ ලෙස "රෝමය ගිනි ගනී" 1996 වසරේදී බන්දුල විතානගේ විසින් සිංහල වේදිකාවට තිළිණ කරන ලදී. එම නාට්‍යයට ඒ වසරේ ජාතික නාට්‍ය උළෙලේදී වසරේ හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම සහය නළුවා යන ප්‍රධාන සම්මාන හිමි විය.

"රෝමය ගිනිගනී" ප්‍රථම වරට වේදිකාවට පැමිණ වසර 15 ක ඇවෑමෙන් බන්දුල විතානගේ මෙවර වේදිකාවට ගෙන එන "රෝමය ගිනිගනී 2" රේ කුනි ගේ "Caught in the net" නාට්‍යයේ අනුවර්තනයකි.

බන්දුල විතානගේ වේදිකා නාට්‍ය කලාවට එකතු වන්නේ පී. වැලිකල නිෂ්පාදනය කළ "රත්නාවලි" නාට්‍යයත් සමඟයි. ඒ 1963 වර්ෂයේදීයි.

1965 දී "මේඝ ගර්ජනා" නාට්‍යය නිර්මාණය කරමින් නිෂ්පාදකයකු බවට පත් වූ ඔහු 1971 දි රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ "ගංගාවක්‌ , සපත්තු කබලක්‌ හා මරණයක්‌" නාට්‍ය බෙහෙවින් ප්‍රසාදයට පත් සම්මාන දිනූ නිර්මාණයකි.

අනුවර්තන නාට්‍ය කෙරෙහි වැඩි කැමැත්තක්‌ දැක්‌ වූ බන්දුල වෙතින් "බෙකට්‌, වැනිසීයේ වෙලෙන්දා, දොලොස්‌ වැනි රාත්‍රිය, මැක්‌බත්, හැම්ලට්‌, සෙනෙහෙබර ඩොලී, හිරු දහස, රෝමය ගිනි ගනී. සිකුරු සැණකෙලි" නමින් නාට්‍ය රැසක්‌ ප්‍රේක්‌ෂකයන් වෙත තිළිණ කෙරිණි.

"බුමුතුරුණු, අසල්වැසියෝ" ටෙලි නාට්‍ය ඔහු වෙතින් බිහි වූ අතරම, ටෙලි නාට්‍ය රැසකටම රඟපෑමෙන්ද ඔහු දායක විය.

ඔහුගේ අලුත්ම වේදිකා නාට්‍ය වන" රෝමය ගිනි ගනී 2 " හි, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනි ජයකොඩි, බන්දුල විතානගේ, අයේෂා දිසානායක, උපාලි බණ්‌ඩාර, තිළිණි ප්‍රියංවදා සහ ඉෂාර වික්‍රමසිංහ රංගනයෙන් දායක වේ. රොජර් සෙනෙවිරත්න නිෂ්පාදනය කරන මෙම නාට්‍යය සඳහා වජිර කුමාරි විතානගේ වේදිකා පාලනයෙන්ද, වසන්ත කුමාර රංගාලෝකයෙන් ද ජගත් පද්මසිරි වේෂ නිරූපණයෙන්ද දායක වේ. "රෝමය ගිනිගනී 2" නිෂ්පාදන කළමනාකරණය එඩ්වඩ් චන්ද්‍රසිරිගෙනි.


චාමරි බණ්‌ඩාර

Copy Rights - Nawaliya

0 comments:

Post a Comment