----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සමාධි ලක්සිරි

Monday, February 21, 2011

මෙවර යෞවන සම්මාන නිළිය හමු වෙමු

සමාධි ලක්සිරි

මෙවර යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය ඇයයි. ‘ජනේලයෙන් පනින්නද?’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් ‘හොඳම නිළිය’ ලෙස අභිෂේක ලැබූ සමාධි ලක්සිරි සමඟ කළ කතාබහක්.

යෞවන නාට්‍ය උළෙලේදී මේ සමාධි සම්මානයට පාත්‍ර වූ තෙවන අවස්ථාවයි. 2007 වසරේදී හොඳම සහාය නිළිය ලෙස තම කුළුඳුල් සම්මානය ලබා ගත් අතර 2008 දී ‘සඳ ගිනි අරන්’ නාට්‍ය උදෙසා හොඳම නිළිය වන්නට වරම් ලැබුවාය.

‘2010 හොඳම නිළිය විදිහට මං යෞවන සම්මාන දිනුවෙ ධනුෂිකා නයෝමිගෙ ‘ජනේලයෙන් පනින්නද’ නාට්‍ය වෙනුවෙන්. ඇත්තටම ඒ නාට්‍යය වර්ක්ෂොප් එකකදි කරපු නිර්මාණයක්. ධනුෂිකා, තුමිඳු, කෞශල්‍යා, ප්‍රසාදිනී, අමා, පනා, ලෙමන් ඇතුලු අපේ නාට්‍ය කණ්ඩායමේ කැපවීම, සහයෝගය නිසා තමයි මේ අවස්ථාව ලැබුණෙ.’

ඇඹිලිපිටිය ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සමාධි පාසල් කාලයේදී රංගන කටයුතු වෙනුවෙන් දායක නොවූවාය.

‘පාසල් කාලේදී මගේ ප්‍රධාන විෂය වුණේ නැටුම්. මම විශ්ව විද්‍යාලයට එන්නෙත් නර්තනය වෙනුවෙන්. නමුත් එහි නාට්‍යවලට තිබූ තැන නිසාම මටත් ඒ විෂයට ඇල්මක් ඇති වුණා. අපිව ඒ විෂයට තෝරා ගත්තෙ මහා පුදුම විදිහට.

අපි එක්ක සුහදව කතා කරපු ඒ අය බැලුවෙ මේ විෂයට අපි තුළ තියෙන ඇල්ම විතරයි. රංගනයට පිවිසෙන්න කිසිම කැමැත්තක් නොතිබුණ මම විශේෂවේදී උපාධියට හිටපු 9 දෙනාට ආවෙ 400 ක් අතරින්.

විශ්ව විද්‍යාලයේදී ප්‍රියංකර රත්නායක සර්ගෙන් ලැබුණ මඟ පෙන්වීම මගේ රංගන ජීවිතයට සාර්ථක අත්වැලක්. ඇත්තටම මම විශ්ව විද්‍යාලයට ආවේ නැත්නම් නිළියක් වෙන එකකුත් නැති වෙයි.’

පැහැදිලි වදනින් තම රංගන දිවිය පිළිබඳ කතා කරන සමාධි මුව මත මගේ දෑස් රැඳුණි. සත්තකින්ම ඈ තුළ ඇත්තේ් සොඳුරු පෙනුමකි. ඒ සොඳුරු බව රූපවාහිනියටත්, සිනමාවටත් අපූර්වත්වයක් ගෙන දෙන්නට සමත් ලක්ෂණයක් බව මට හැඟුණි.

‘මගේ කැමතිම මාධ්‍ය වේදිකාව. සිනමාවටත් මම කැමතියි. ඒත් ඒ කැමැත්ත තිබුණට මං ලැබෙන හැම දේම භාර ගන්නෙ නැහැ. ප්‍රසන්න විතානගේ මහතාගෙ ‘ආකාස කුසුම්’ සහ සෝමරත්න දිසානායක මහතාගෙ ‘සිරි රජ සිරි’ චිත්‍රපටවලට මම සම්බන්ධ වුණා. චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් විවිධ හේතු නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා.

ටෙලි නාට්‍යවලත් මම ගොඩක් හොඳ නිර්මාණයකට දායක වෙන්න කැමතියි. ඒ කැමැත්තෙ ප්‍රතිඵලයක් තමයි මේ දිනවල විකාශය වෙන ‘කඩදොර’ ටෙලි නාට්‍යය. රජීව් ආනන්ද අධ්‍යක්ෂණය කළ රොෂාන් රවීන්ද්‍ර නිෂ්පාදනය කළ ‘කඩදොර’ මගේ රංගන ජීවිතයේ කඩඉමක් විදිහටයි මං පිළිගන්නේ.’

සංස්කෘතිත හා කලා කටයුතු අමාත්‍යාංශයේ, ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන සමාධි, තම රැකියාව උතුම් කොට සලකන්නීය.

‘මම රටට සේවයක් කරන රැකියාවක් කරන කෙනෙක්. මගේ ජීවිතයේ පළමු තැන ලැබෙන්නෙ රැකියාවට. මම ජීවත් වෙන්නෙ රැකියාවෙන්. රස්සාවත් එක්ක මට ලැබෙන සීමිත කාලය මම ඉතාම හොඳ නිර්මාණයකට යොදවන්නයි කැමති.’

සමාධිට තම රංගන කටයුතු වෙනුවෙන් තම මවගෙන් ලැබෙන සහයෝගය සුළුපටු නොවේ.

‘මගේ පවුලේ මාත් එක්ක කෙල්ලොම පස් දෙනෙක්. පොලිස් නිලධාරියෙක් වූ මගේ තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. අම්මා තමයි අපේ ශක්තිය.

මගේ අම්මා කලාවට සම්බන්ධ නොවුණට, ඈ තුළ කලාව කෙරෙහි ඇති ඇල්ම මට පිටිවහලක් වුණා. ඇඹිලිපිටියෙ ඉඳන් කොළඹ ඇවිත් රඟපෑවට, අම්මාට එයාගෙ දූ විශ්වාසයි. ඒ විශ්වාසයයි මගේ ශක්තිය.’

සමාධි සමඟ කතා බහ අතර මගෙන් පැනයක් නැගුණා.

රංගන ශිල්පිනියව ඔබ නිර්වචනය කරන්න කැමති මොන විදිහටද?

‘තමන්ගෙ ජීවිතයෙදි විඳින්න සහ දකින්න ලැබෙන අත්දැකීම් නිර්මාණයකදී මනාව හසුරුවන කෙනා තමයි රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්නෙ. ඒ වගේම හොඳ හැදෑරීමක් තිබිය යුතුයි.

හැදෑරීම කියන්නෙ ආයතනයකට ගිහින් ඉගෙන ගෙන සහතිකයක් ගන්න එක නෙවෙයි. තමා ජීවත් වන සමාජය තුළ සිටින මිනිසුන්ව, අපේ ප්‍රවීණ ශිල්පීන්ගේ රංගනයන් පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි මම හැදෑරීම කියලා අර්ථවත් කළේ’.

සිහින හොරු අරන්, ඇන්ටිගනී, ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය, මේ දිනවල සමාධිගේ රංගන ප්‍රතිභාව විදහා පාන නිර්මාණයි.

චරිතාංග රංගනවේදිනියක ලෙස රංගන ක්ෂේත්‍රයේ රැඳෙන සමාධිගේ රංගන හැකියාව පිළිබඳව වැඩිදුර කතා කරන්නට ඉඩ ලැබෙන කාලය වැඩි ඈතක නොවේ යැයි ඇගෙන් සමුගන්නා විට මට දැනුණි.

1 comments:

laksiri said...

oya hari hoda kenek samahara vita mawa matakat athi oya game avit yanakota bas ekedi hamuwenawa oyage edri anagatayata mama suba patanawa

Post a Comment