----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අමරදේවයන් ගැයූ දළදා ගීතය හා සුනාමි ගීතය සංගීත තැටියකට නැඟෙයි

Friday, September 10, 2010

ජගත් මෝහිනි – මධුර භාෂිණී’ මේ අපි කවුරුත් අද සරස්වතී දේවියට වන්දනා කරන ගීතයයි. මේ ගැඹුරු අමර ස්වරය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේමය. එයින් ඇරඹෙන මධුර ගීතාවලිය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’, ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන’, ‘බඹරෙකු ආවයි’, ‘දස්කොන් සකි සඳ’, ‘පසළොස්වක සඳ’ ආදී වූ මියුරු ගී රස හා බැඳේ.

දේශයේ අග්‍රේෂ්වර ගාන්ධර්වයාණන් වන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ මේ මියුරු ගීතාවලිය පසුගිය දිනක අප සවන්පත් මෝහනයට පත් කළේ ඔහුගේ අමරණීය ගී දහසයක් ඇතුළත් ’බඹරකු ආවයි’ සංයුක්ත තැටිය පසුගියදා නිකුත් වීමෙන් පසුවය.

වැදගත් හරවත් නිර්මාණ රැසක් කවදත් ශ්‍රාවකයන් හමුවට එහි රසය නොනැසෙන අයුරින් තිළිණ කරන්නට උත්සාහ දරන සරත් කොතලාවලගේ ‘ටොරානා’ ආයතනයේ නිෂ්පාදනයක් ලෙස එය දොරට වැඩුණේ බොරැල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර් හිදී පැවැත්වුණු චාම් උත්සවයකදීය.

මේ අවස්ථාව වර්ණවත් කරන්නට පැමිණි ආචාර්ය පණ්ඩිත් අමර දේවයන්ගේ සම්ප්‍රාප්තිය අතිශයින්ම වැදගත් විය. වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන මෙහි අඩංගු බොහෝ පැරණී, ජනපි‍්‍රය ගීත මීට මාස තුනකට පමණ ඉහතදී අමරදේවයන් විසින් නව සංගීත සංයෝජනයට ගායනා කරන ලද ඒවා විය. දශමයකුදු වෙනස් නොවී, ඒ රසය ඒ ආකාරයෙන්ම පැවතෙන අයුරින් අමරදේවයන්ගේ අමර සරය හැඬවී තිබීම මෙහි තිබුණු සුවිශේෂිත්වයම විය.

ශි‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත ‘ජගත් මෝහිනී’ (සරස්වතී ගීතය) ගීතයෙන් ඇරඹෙන අමර ගීතාවලිය මහගම සේකරයන්ගේ ‘ඈත කඳුකර හිමව් අරණේ’, ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’, ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන’, ‘ඔබේ දෑසයි ඔබේ දෑසයි’, ‘ඔබ මා තුරුලේ’ යන ගීතවලින් වඩ වඩාත් රසාලිප්ත වේ.

මඩවල එස්. රත්නායකයන්ගේ ‘බඹරෙකු ආවයි’ මෙන්ම ඩෝල්ටන් අල්විස් ශූරින්ගේ ‘පෙම්බර මා පුතණුවනේ’ පදවැල් ද මෙම ගීත සමුච්චය සඳහා අමරදේවයන් යළි ගයා තිබේ. ‘දස්කොන් සකි සඳ’ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතය) ‘පසළොස්වක සඳ’ (ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය) යන මියුරු යුග ගීත මේ ගීත එකතුවට විශාරද නීලා වික්‍රමසිංහ සමඟ යළි ගයා තිබීමද සුවිශේෂීය. විශාරද චරිතා පි‍්‍රයදර්ශනී පීරිස් සමඟ මෑතකදී ගැයූ ගීතයක්ද මේ අතර වේ.

මේ ගීත එකතුවේ අනෙක් සුවිශේෂිම කාරණය වනුයේ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කළ ගීතෝපකායක් ලෙස මෙහි අඩංගු වන දළදා ගීතයයි. එය මින් පෙර කිසිදු සංයුක්ත තැටියකට ඇතුළත් නොවූවකි.

”දන්ත ධාතූන් වහන්සේ උදෙසා ගායනා කළ මෙම ගීතය මීට ප්‍රථම මම මහනුවරදි දළදා වහන්සේ උදෙසා පූජා කළා. මේ ගීතය මට රචනා කළේ ඩබ්ලිව්.ඒ. අබේසිංහ ශූරින්. එහි යුග ගායනය සඳහා විශාරද නන්දා මාලිනි ඇතුළු පිරිස එක්වෙනවා.

මම අන්තිමට සංයුක්ත තැටියක් එළි දැක්වූයේ 2002 වර්ෂයේදී. ඒ ‘වැලිතල අතරින්’ සංයුක්ත තැටිය. අවුරුදු 8 කින් තමයි මේ සංයුක්ත තැටිය එළි දකින්නේ. අලුත් නිර්මාණ කිහිපයකුත් එක්ක මේ සංයුක්ත තැටිය එළි දක්වන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තිබෙනවා.” දළදා ගීතය ලියවුණේ ඩබ්ලිව්.ඒ. අබේසිංහයන් අතින්. ගීතයේ පසුබිම ගැන අබේසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේය.

”මේ ගීතය මගේ අතින් ලියවුණේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේ ලෙස නෙරංජන් විජේරත්න මහතා වැඩ කරන කාලයේ. දියවඩන නිළමේ තුමාගේ ළඟම මිත්‍රයකු වූ ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න මහතා තමයි මේ ගීතය නිර්මාණය කරන්නට මැදිහත් වුණේ. මුලින්ම මේ ගීතය පණ්ඩිත් අමර දේවයන් තනියම ගායනා කළේ. දැනට අවුරුදු 04 – 05 ට ඉස්සර තමයි රෙකෝඩ් කළේ.”

පණ්ඩිත් අමරදේවයන් පසු පස රැඳෙමින් ඔහු ආදරයෙන් බලා කියා ගන්නේ දයාබර බිරිඳ විමලාවන්ය. ඔහුට මෙන්ම ඔහුගේ නිර්මාණයන්ට ද බෙහෙවින් ආදරේ කරන විමලාවන් මෙම නිර්මාණ කාර්යයේදිත් ඔහු පසු පස නිබඳවම රැඳීහුන් බව අපට දැන ගන්නට ලැබුණි. විශේෂයෙන්ම මේ ගීත තේරීමේදී අමරදේව පවුලේ රංජන අමරදේව ඇතුළු පිරිසගේ සුවිශේෂි අවධානය යොමුවූ බවද පැවසිණ.

මානවසිංහයන්, මහගමසේකර, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස් හා ඩබ්ලිව.ඒ. අබේසිංහයන්ට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි උදයසිරි පතිරණ හා යමුනා මාලිනි පෙරේරා මෙහි සෙසු ගී පද රචනා කර තිබේ.

සරත් ද අල්විස් මහින්ද බණ්ඩාර සංගීතවේදීන්ගේ ගීත අධීක්ෂණයෙන් යුතුව හේමලාල් ගීතදේව, විද්‍යා මුණසිංහ හා රංග දියබලනගේ ටොරානා ශබ්දාගාරයේදී ‘බඹරෙකු ආවයි’ ගීතාවලිය පටිගත කර ඇත. මෙම ගීත 16 න් 15 ගේම ගී තනු නිර්මාණය පණ්ඩිත් අමරදේවයන්ගේමය.


0 comments:

Post a Comment