----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා

Friday, September 10, 2010

සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා

ඒත් එකකටවත් සාධාරණයක් වෙන්නෙ නැහැ

නෙලූ අධිකාරි

ප්‍රාසාංගික වේදිකාව භාව පූර්ණ හඬක් සොයමින් සිටි අවදියක සරල ගීත කලාවට නවමු රසක් එක් කරමින් අපූර්ව ගායිකාවකගේ ආගමනය සිදුවිය. ‘ඔබ අසා සිටී නම්’, ‘නඟේ මලේ’, ‘සයුරේ රළ සේ’ මියුරු හඬින් රසිකයාගේ සවන් පිරවූ ඇය නමින් නෙලූ අධිකාරී.

2002 වසරේ ‘සයුරේ රළ සේ’ ප්‍රථම ගී එකතුව එළි දක්වමින් රසිකයන් තුළද, ක්ෂේත්‍රය තුළද, ඉතාම ඉක්මනින් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට නෙලූට හැකි වන්නේ සංගීතය ගැන ඇයට තිබූ දැනුමෙන් හා ජන්මයෙන් ලද වාසනා ගුණය නිසාවෙනි. ඉතා නිහඬ ගමනක යෙදෙමින් හැම විට ම හොඳ නිර්මාණයක් එළි දැක්වීමට උත්සහා දරන නෙලූ ඇගේ දෙවැනි ගීත එකතුව ‘මං නැතිදා’ නමින් එළි දක්වන්නීය.

වසර කිහිපයක නිහැඬියාවකින් පසු ‘කඳුළු’ නම් වූ ඇගේ නවතම ගී එකතුවත් සමඟ නෙලූ යළි සිය මියුරු හඬ අවදි කරමින් ඇගේ රසිකයන් ආමන්ත්‍රණයට දරා ඇති උත්සාහය පිළිබඳ කෙරුණු පිළිසඳරකි මේ.

ඔබගේ අලුත්ම ගී එකතුව ගැන දැන ගන්න කැමැතියි.

මාගේ අලුත්ම ගී එකතුව ‘කඳුළු’ නමිනුයි එළිදැක්වුණේ. මේ මාගේ 3 වැනි සංයුක්ත තැටියයි. ගීත රචනයේ හා තනු නිර්මාණයෙන් රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර, සරත් ද අල්විස් වැනි ප්‍රවීණයන්ගේ ද නවක ශිල්පීන්ගේ ද එකතුවෙනුයි මෙවර මාගේ ගී නිර්මාණ බිහි වුණේ.

දිගු නිහැඬියාවකට පසුයි ‘කඳුළු’ ත් සමඟ නැවත පිවිසෙන්නේ

ඔව්. හොඳ නිර්මාණයක් බිහි කරන්න කාලය අවශ්‍යයි. මගේ ගීත ඇතුළත් පළමු සංයුක්ත තැටිය බිහි වී වසර 3 කට පසුවයි දෙවැනි ගී එකතුව එළි දැක්වුණේ. ඉතින් ‘කඳුළු’ නිර්මාණය කරන්න වසර 2 ක් පමණ ගත වුණා.

මොනවාගේ ශෛලීන් ද මෙවර ඔබගේ ගී එකතුව සඳහා යොදා ගත්තේ?

ජන නිර්මාණවලට හුරු ගීත ‘කඳුළු’ ගීත එකතුවට යොදා ගෙන තිබෙනවා. ඊට අමතරව පුංචි පුංචි වෙනස්කම් කිහිපයක්ම මෙවර ඇතුළත් වන අතරම මගේ ඉතාමත් ජනපි‍්‍රය වුණු ගීතයක් වන ‘අහසට සොඳුරුද’ ගීතය ද මේ ගී එකතුවට ඇතුළත්.

සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් දැනගන්න කැමැතියි.

මගේ වැඩකටයුතුවලදී ඔහුගෙන් ලැබෙන සහය අති විශාලයි. අපි හැම වැඩක්ම කරන්නේ ඉතාමත්ම සහයෝගයකින් යුතුවයි. මේ ගී එකතුව සඳහා ද කපිල මා පසු පස සිටිමින් මට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඔහු ගේ නිර්මාණ 3 ක් පමණ මේ සංයුක්ත තැටියට එක්කොට තිබෙනවා.

සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන බොහෝ දෙනෙක් ඉතා සීමිත කාලයයි ජනපි‍්‍රයත්වයේ රැඳී සිටින්නේ. ඉතින් මේ ක්ෂේත්‍රය තුළ ඔබ කොතරම් දුරට ස්ථාවරද?

මේ ක්ෂේත්‍රයට එකතු වන නවකයන්ට මෙවැනි කලදසාවක් උදාවීමට හේතුවන කරුණු කාරණා කිහිපයක්ම තිබෙනවා. ඒත් මා ක්ෂේත්‍රයට පිවිසුණු කාලය වාසනාවන්තයි කියලයි මට දැනෙන්නේ. මොකද මම ක්ෂේත්‍රයට පැමිණි කාලේ මෙතරම් ලොකු තරගකාරිත්වයක් තිබුණේ නැහැ. අපේ ප්‍රවීණයන්ගේ කාලයේදී මෙරට මාධ්‍ය ආයතන තිබුණේ දෙක තුනක් පමණයි.

ඒ මාධ්‍ය හරහා ඔවුන්ගේ ගීත නිතරම ඇසෙන්නට වූ නිසා එම ගීත බොහොමයක් රසිකයන් අතරට ගොස් ඔවුන් මතකයේ රැඳුණා. නමුත් අද මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් බිහිවී තිබෙන නිසා රසිකයනුත් තමන් ශ්‍රවණය කරන්නට හෝ නැරඹීමට කැමැති මාධ්‍යයක් තෝරා ගන්නා නිසා රසිකයන් බෙදී ගොස් තිබෙනවා. මේ නිසයි අපගේ ගීත එක් මාධ්‍යයක් හරහා වරක් ප්‍රචාරය වුණත් සීමිත පිරිසකට පමණක් ගීතය රස විඳින්නට සිදුවන්නේ.

මේ හේතූ නිසාම අපි අපගේ ස්ථාවරත්වය තබා ගත්තත් අපි පවා ඒ මාධ්‍ය ගැටලුවට මුහුණ පා තිබෙනවා යැයි කීවොත් නිවැරැදියි. ගායකයාවත් රසිකයාවත් එකතු කරන පාලම තමයි මාධ්‍යය.

ගායකයකුගේ හොඳ නිර්මාණයක් එළි දක්වන්න මාධ්‍ය අපිට සහාය වුණේ නැත්නම් අපේ නිර්මාණ කොතරම් හොඳ වුණත් ඒවා රසිකයන් අතරට යන්නේ නැහැ. ඉතින් මගේ පළමු සහ දෙවැනි ගීත එකතුව රසිකයන් අතරට ගියෙත් නඟේ ‘මලේ, මම යන්නම්, සයුරේ රළ සේ’ වැනි ගීත බොහොමයක් රසිකයන් ආදරයෙන් වැළඳගත්තේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හරහා මට ලැබුණු සහයෝගය නිසයි.

එහෙත් අද වන විට මාධ්‍ය ආයතන වගකීමකින් තොරව හරයක්, රසවින්දනයක් නැති ගීත ප්‍රචාරය කිරීම තුළ හොඳ ගීත ප්‍රචාරය වීම අඩු වෙනවා. මේ නිසා තමයි ක්ෂේත්‍රයේ සිටින හෝ ක්ෂේත්‍රයට එන බොහෝ ගායක ගායිකාවනට අද ස්ථාවරත්වයක් පවත්වා ගන්නට අසමත් වෙන්නේ.

ඔබ වඩාත් පි‍්‍රය කරන්නේ කුමන ශෛලියේ ගී සඳහාද?

මගේ ගායන හැකියාවට මම සීමා මායිම් පනවා නැහැ. විවිධ ශෛලීන් අනුගමනය කිරීමේ හැකියාවක් තිබෙනවා යැයි මා විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් මම ගායනා කරන්නේ සරල ගීතයි.

වෙනස් ශෛලීන්වලට අයත් ගීතද ගායනා කරල තිබුණත් රසිකයන් අතර මා ජනපි‍්‍රය වී සිටින්නේ සරල ගී ගායනා කරන කෙනකු ලෙසයි.

ඔබේ කාර්යබහුලත්වයත් සමඟ ගේදොර කටයුතු සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද?

දැන් නම් එතරම් කාර්ය බහුලත්වයකට මුහුණ දෙන්නට සිදු වන්නේ නැහැ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී නම් ප්‍රසංග බොහොමයකට ආරාධනා ලැබුණා. ඒ කාලයේදි වගේම අදත් අපි නිවෙසේ රැඳෙන්නේ නැති සෑම අවස්ථාවකම කපිලගෙත් මගෙත් දෙමාපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. එය අපට ලොකු ශක්තියක්.

රඟපාන්න එහෙම ආරාධනා ලැබිලා නැද්ද?

අනේ නැහැ මේ වනතෙක් එවැනි ආරාධනයක් ලැබී නැහැ. මට රඟපාන්න හැකියාවක් ඇති කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ.

එවැනි හැකියාවක් තිබුණත් මට උරගා බැලීමට තරම් අවශ්‍යතාවයක් නැහැ. කලා ක්ෂේත්‍රයේ දැන් සිදුවන දේවල් දුටුවාම කලකිරිමක් ඇතිවෙන්නේ. සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා. මේ තුළ දෙකෙන් එකකටවත් හරි සාධාරණයක් ඉටු වන්නේ නැහැ. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කිව්වාට ඊට වඩා හැකියාවලින් පූර්ණ අය අප අතර සිටින්නට පුළුවනි.

නමුත් තමන් යෙදිලා සිටින විෂය තුළ එයට සාධාරණත්වයක් ඉටු කළොත් පමණයි එහි සාර්ථකත්වය රැඳෙන්නේ. වඩාත් හොඳ දේ අපිට වඩාත්ම හැකියාව තිබෙන පැත්ත හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමයි.

ඉදිරි වැඩ කටයුතු ගැනත් දැන ගන්නට රසිකයන් කැමති වේවි.

මේ වන විට මම සංගීත පන්තියක් පවත්වාගෙන යනවා. මම ළමා පරපුරට උගන්වන්න බොහොම කැමැතියි. ඒ නිසාම ඉදිරියේදී කොළඹ අවට මගේ කලා ආයතනයක් ආරම්භ කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. බොහෝ දුරට ලබන වසරේදී මට ඒ පැතුම ඉටු කරගන්නට හැකි වේවී.

ටානියා මෝසස්

0 comments:

Post a Comment