----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ

Friday, September 10, 2010

මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ

’යුගාන්දරය’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ

සෝමචන්ද්‍ර විජේසූරිය

සෝමචන්ද්‍ර විජේසූරිය ලංකාවේ බොහෝ දෙනකු හඳුනන්නේ ලේඛකයෙක්, සාහිත්‍ය විචාරකයෙක්, සාහිත්‍ය පරිවර්තකයෙක් සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කීර්තියක් දිනාගත්තකු ලෙසයි. ඔහු විසින් රචිත ’යුගාන්දරය’ නවකතාව පාදක කොට ගනිමින් පසුගිය දා එනමින් ම ටෙලි වෘත්තාන්තයක් නිර්මාණය කිරීමට ඔහු සමත් වුණා. ලාංකේය සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා විජේසූරිය මහතා සිදු කළ සහ සිදුකරමින් පවතින නිර්මාණ කටයුතු පිළිබඳව ඔහු සමඟ කතා බහ කරන්නට මට පසුගිය දිනෙක අවස්ථාව උදාවුණා.

මේ එහි දී ඔහු සමඟ පැවැත්වූ සංවාද සටහනයි.

ඔබ අලෙවිකරණය පිළිබඳව රාජකාරි කටයුතු සිදුකළ වෘත්තිකයෙක්. සාහිත්‍ය කලාව කෙරෙහි ඔබගේ ආගමනය සිදුවුණේ කොහොමද?

මම වෘත්තියෙන් පෞද්ගලික අංශයේ අලෙවිකරණය පිළිබඳව කටයුතු කළ වෘත්තිකයෙක්. මම මගේ වෘත්තියෙන් විශ්‍රාම යෑමට ආසන්න වන විට සාහිත්‍ය කලාව කෙරෙහි බොහෝ සේ නැඹුරු වුණා. මම පුංචි කාලේ ඉඳලම පොත පත කියවන්න ආසයි. විශේෂයෙන්ම සමාජයේ ඇතිවුණු විවිධ අර්බුද ඒ කියන්නේ 56 පෙරළිය, 71 කැරැල්ල මේ වගේ දේවල් මගේ මනසට ඉතා තදින් බලපෑවා. මං ඒ දේවල් ගැන හුඟාක් සංවේදීව හිතුවා.

71 කැරැල්ල සිදුවන අවස්ථාවේදී මම සේවයට ගියේ කොළොන්නාවේ බෝඩිමක නැවතිලා. මට මතකයි ඒ දවස්වල ඇඳිරිනීතිය දාලා තිබුණා. ඒ සංසිද්ධිය වෙනකොට මට හිතුණා 56 පෙරළිය සහ 71 කැරැල්ල යන සිදුවීම් අතර කුමන හෝ සමාජ සම්බන්ධතාවයක් ඇති බව. මේ සිදුවීමත් සමඟ සංවේදී වූ මගේ සිතුවිලි නවකතාවක ඇරඹුමට හේතුපාදක වුණා.

ඔබේ ‘යුගාන්දරය’ නවකතාව රචනා කිරීමට මූලිකම හේතුව වන්නේ මේ සිදුවීමම ද?

ඔව්. මේ සිදුවීම මත ’යුගාන්දරය’ නවකතාව ලියන්නට මම පෙලඹුණා. මෙය මම ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ සම්මාන උළෙලට ඇරියා. ඒත් එතැනදී අවම වශයෙන් මේ නවකතාව ගැන සඳහනක්වත් වුණේ නැහැ.

එයට හේතුව කුමක් කියා ද ඔබ හිතන්නේ?

එතැනදී මට තේරුණේ මේකයි. ඒ තැන විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේ මහාචාර්යවරු, කර්තෘවරු, තමයි. ඔවුන් නවකතාව මොකක්ද කියල දන්නැති අය බවයි මට හැඟී ගියේ. මොකද මම ඒ වෙනකොට පැහැදිලි වශයෙන් ම බටහිර සාහිත්‍ය, විචාර කියවා ඇසුරුකර තිබුණා. විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ අයගේ දැනුමේ විශාල හිඩසක් තිබුණා කියලා මට තේරුණා.

ඔබේ ‘යුගාන්දරය’ නවකතාව ඉංගිරිසියට ඔබ විසින් පරිවර්තනය කරනු ලැබුවා. එය සම්මානයට පවා පාත්‍ර වුණා නේද?

ඔව්. මම ඒ කතාව First Rising නමින් ඉංගිරිසියෙන් ලිව්වා. එය 1998 දී ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

’යුගාන්දරය’ නවකතාවට පාදක වන වස්තු බීජය ගැන කතාකරමුද?

මෙයට වස්තුබීජ වන්නේ 71 කැරැල්ලේ ප්‍රාරම්භය. කෑගල්ල ප්‍රදේශයේ විසූ ගෘහ පවුලක කතාවක් ආශ්‍රයෙන් තමයි මෙහි කතා තේමාව ගොඩනැඟෙන්නේ. දේශපාලනය, ආර්ථිකය 71 කැරැල්ල හා බැඳුණු සරල කතාවක් ඇසුරින් මේ නවකතාව ගොඩනැෙඟනවා. මේ නවකතාවෙන් විවරණය වන්නේ ආර්ථික, දේශපාලන කරුණු, වාමාංශික ව්‍යාපාරයේ කඩාවැටීම 71 කැරැල්ලට හේතුවුණේ කොහොමද? කියන එකයි.

ඔබ ‘යුගාන්දරය’ නවකතාව ටෙලිනාට්‍යයකට නැඟීමට වෑයම් කළේ ඇයි?

මෙහි ඉංගිරිසි පරිවර්තනයට ලැබුණු ප්‍රතිචාර මත හුඟ දෙනෙක් මෙයින් ටෙලිනාට්‍යයක් කරන්න කියලා ඉල්ලීම් කළා. ඒ නිසා මම මෙහි පිටපතක් රූපවාහිනියට දුන්නා. එහි තේරීම් මණ්ඩලයෙන් මේ පිටපත සම්මත කළා. ටෙලිනාට්‍යය නිර්මාණය කරලා අරන් ගියාම එය ප්‍රතික්ෂේප කළා. සිංහල බෞද්ධ ධර්මයට මෙයින් නිගාවක් වන බව පවසමින් රූපවාහිනියෙන් මෙය විකාශනය කිරීම ප්‍රතික්ෂේප කළා. ඇත්තටම ඒ කරුණ මම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ආචාර්ය තිස්ස අබේසේකර මේ ටෙලිනාට්‍යය නැරඹුවා.

ඔහු මේ නාට්‍යය ගැන බොහොම පැහැදීමකින් කතා කළා. මෙහි ආරම්භයට සහ අවසානයට ඔහු හුඟාක් කැමැති වුණා. නමුත් මේ දක්වා මගේ ටෙලිනාට්‍යයට සාධාරණයක් ඉටුවෙලා නැහැ.

මෙයින් ඔබේ සාහිත්‍ය කලාවට තිබුණු නැඹුරුව අඩු වුණාද?

මගේ හිත කඩා වැටුණා. නමුත් මම මගේ අනෙකුත් සාහිත්‍ය නිර්මාණ කටයුතුවලින් ඉවත් වූයේ නැහැ. ඉන්පසුව මම පරිවර්තන ගණනාවක් කළා.

ලංකාවේ නූතන විචාරක කලාව ගැන ඔබ හිතන්නේ මොන විදිහටද?

අද ඉන්න විචාරකයන් බොහෝදුරට යුරෝපයේ විශ්වවිද්‍යාලවල ‘ෆ‍්‍රැන්ක්ෆර්ට්’ පාසලේ විචාර කලාව අනුගමනය කරන අයයි. එම විචාර ක්‍රමයේ තිබෙන දුර්වලකම ලෙස මම දකින්නේ එය ඉතිහාසයට සම්බන්ධ නොවීම.

ඔවුන් කරන බොහෝ විවේචන, (සාහිත්‍ය, නවකතා, සිනමා කෘතිවල) සමාජ පදනම මත විවේචනය කරන්න බැරිවෙලා තියෙනවා කියා හිතෙනවා. එමනිසා ඔවුන් සමාජ යථාර්ථවාදය හඳුනාගෙන විචාරය කළ යුතුයි කියා මා සිතනවා.

1 comments:

Anonymous said...

Mama kanagatu wenawa obata saha obage nirmanayata athwela thiyena iranama gana ahuwama...ara ITN eke yana sathapahakata wadak nathi kasikabal..charithayakata paata denna ..wage kunuharupayak kalanam anika salli ea kiyanne jarawa wiyadam kalanam obatath oka daaganna thibuna...ara wage dahajaraawa ape jathika nalika walin yanakota apita monada hithenna...mea rate onema wesa ganiyekuta minissuth ekka nidagena ,salli wiyadam karala ,rangapala ea ganige dewal mawapanawa...mona karannada..?? obathuma adayrya wanna epa..?

Thakshila dharmakeerthi

Post a Comment