----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සරසවියෙදි හමුවී වෙන්වුණු පෙම් යුවළකගේ අත්දැකීමක් මා ගීතයට නැඟුවා

Friday, September 10, 2010

සිරි සමන් විජේතුංග

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ...

විශාරද දයාරත්න රණතුංග ගයන මේ ගීය සිරිසමන් විජේතුංගයන් රචනා කළේ මීට 34 වසරකට එපිට 1976 දී.

පසෙකින් මහවැලි නදිය. අනෙක් පසින් හන්තාන කඳු වැටිය. පේරාදෙණි සරසවියට ඔබ්බෙන් වූ අදත් දැකිය හැකි මේ සොඳුරු පරිසරය ගීත රචකයාගෙ හිත් ගත්තෙ ඔහු සරසවි සිසුවකුව සිටි සමයේ.

සිතේ ලැගුම්ගත් ඒ සොඳුරු පරිසරය හා සරසවියේ වසර ගණනාවක් දුක සැප බෙදා ගත් පෙම්වතුන් යුවළකගේ සමුගැන්ම ගීතයකට නැඟුවෙ ඒ සරසවි බිමෙන් ඔහු නික්ම වසර ගණනාවකට පසුව.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයකු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය උපදේශකවරයකු, ජාතික උරුමය පිළිබඳ අමාත්‍යංශයේ සම්බන්‍ධීකරණ ලේකම්වරයකු සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කථිකාචාර්යවරයකු ලෙස විවිධ කාලවල පැතිරුණු ඔහුගෙ සේවාව ලේඛන කලාවටද

පැතිර ගියේ ඊට සාපේක්‍ෂව.

”හැබැයි ඔය හැම දේටම කලින් මං සම්බන්‍ධ වුණේ පුවත්පත් කලාවට. කුරුණෑගල නුංගමුව විද්‍යාලය සහ වදාකඩ මහ විද්‍යාලය මං උගත් පාසල්. සරසවියෙන් පිට වුණේ 1968 අවුරුද්දෙ. ඒ කාලෙ ඉඳලම ‘රසකතා’ පත්තරේට කවි - කෙටිකතා ලියන එක මගෙ පුරුද්ද.

චන්ද්‍රරත්න මානවසිංහ, ආනන්ද සමරකෝන්, මහගමසේකර, මඩවල එස්. රත්නායක වැනි අපේ පරපුරේ ජ්‍යෙෂ්ඨයන්ගේ මාහැඟි භාෂා විලාසයට නිර්මාණවලට යෞවන අපේ හිත් ඇදිල ගියා. අපේ රසඥතාව ගොඩනැඟුණේ ඔවුන්ගේ නිර්මාණ අධ්‍යයනය – භාවිතාව හරහා.

’රසකතා’ පත්තරේට ලියන කාලෙමයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ රැකියාවට ආවෙ. එතැනින් සෞඛ්‍ය අමාත්‍යංශයට. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ආවෙ 1982 අවුරුද්දෙ.

ගුවන් විදුලියට අත්පිටපත් රචනා කරගත්තෙත් 1976 පටන්. සරල ගී වැඩසටහනට ගීත ලියන්න ගත්තෙත් ඔය කාලෙ. එතකොට දයාරත්න රණතුංග සිංහල සේවා අධ්‍යක්‍ෂ. (සංගීත අංශයේ) මා ලියා එවූ ‘සරසවියෙදි හෙට විතරයි...’ ගීතය ඔහු තෝරා ගෙන තියෙන්නෙ සරල ගී වැඩසටහනකට ගයන්න.

1997 දී ගුවන් විදුලියෙන් මහාචාර්ය පරණවිතාන සූරීන් වෙනුවෙන් ඉදිරිපත් කළ, ‘පරණවිතාන අනුස්මරණ ගීතාවලිය’ සඳහා ගීත ලියන්න ලැබීමත් මා ලද සුවිශේෂි අත්දැකීමක්. ඒ ගීතාවලියේ පිටපත් රචනය කළෙත් මමමයි.

1996 වික්ටර් දලුගම සංගීතවත් කළ ‘සූරිය වරුණ’ ගීත නාටකයට මං පිටපත් රචනා කළා. අපි ඒක කළේ එක සිංහල අවුරුද්දකට.

අමරා රණතුංග ගයන, ‘සිරිලක් දෙරණේ ජනිත වූ සාම පරෙවි රෑන් රෑන්...’ ගීතය එකල නොබැඳි ජාතින්ගේ සාම සමුළුව වෙනුවෙනුයි මං රචනා කළේ. සුජාතා අත්තනායක ගයන, ‘හෙට උපදින පුංචි පුතේ...’ සකුන්තලා පීරිස් - සනත් නන්දසිරි ගයන ‘ඉද්දමල් කඩා හිසමත – ගසා නොගන්නේ නෑනෝ...’ වැනි ගීත මගේ ගීත රචනා ගොන්නෙන් කිහිපයක්...”

අද ඔහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයකම නිදහස් මාධ්‍යවේදියෙක්.

”එවකට ‘සන්ඩේ ටයිම්ස්’ කර්තෘ රෙජී මයිකල් මගේ පුවත්පත් ජීවිතේ ගුරුවරයා. 1979 ජනසන්නිවේදන ඉංගි‍්‍රසි මාධ්‍ය ඩිප්ලෝමාව මං කළේ ඇක්වයිනාස් ආයතනයේ. ඒ දැන උගත් දේ අප ඇසුරු කළ වියතුන්ගේ ආභාසය වෘත්තියෙන් ලද පරිචය මා නිතැතින් ග්‍රන්ථ කතුවරයකු කළා.

‘භාරත ලංකා බෞද්ධ උරුමය’, ‘ශිලා, ලිපි සන්නිවේදනය’, ‘වල්ලිපුරම් සන්නස හා හෙළ උරුමය’, ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන’, ‘පඬුවස් නුවර (පරාක්‍රමපුර)’ ‘හෙළ කලා විස්කම්’ (නුදුරේ දොරට වඩියි) වැනි කෘති නවයක් රචනා වුණේ එහි ප්‍රතිඵලයක් විදියට...”

විවිධ පරාස ඔස්සේ විසිරී පැතිරුණු සිරිසමන් විජේතුංගයන්ගේ ප්‍රතිභාව අගය කළ යුතු වන්නෙත් ඒ නිසා.

0 comments:

Post a Comment