----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නළුවකුට හෝ නිළියකට විවේකය අවශ්‍යයයි

Friday, September 10, 2010

වාහනයකට සර්විස් එකක් අවශ්‍යයි වගේම

නළුවකුට හෝ නිළියකට විවේකය අවශ්‍යයයි

ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම

ශෝධා විමලධර්ම ඇයටම සුවිශේෂ වූ අනන්‍යතාවක් සටහන් කළ රංගන ශිල්පිනියක්. ඇගේ නිර්මාණ කෞෂල්‍යයෙන් වේදිකාව, රූපවාහිනිය මෙන්ම සිනමාවද නිරතුරුව පෝෂණය වූවා. පුංචි තිරයේ අහිංසකාවිය ලෙස නම් ලද යශෝධාගේ රංගනය පසුගිය කාලය තුළදී දකින්නට නොලැබීම ඇගේ රසිකයන් තුළ ඇති කළේ කනගාටුවක්. වසර දෙකක නිද්‍රාව අවසන් කරමින් ඇය ‘දිනමිණ’ හා මෙලෙස කට හඬ අවදි කෙළේ ගෙවුණු දෙවසර තුළදී ඇය කළ කී දේ ගැන හා ඇයගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳවය.

* පසුගිය කාලය තුළදී ඔබ රංගනයෙන් ඈත්ව සිටියේ ඇයි ?

රංගනය මගේ ආත්මයේ තිබෙන දෙයක්. ඒ නිසා මම කවදාවත් රඟපෑමෙන් ඉවත් වෙන්නේ නැහැ. සමහර විට මම ඉදිරියේදී කලා ක්ෂේත්‍රයේම වෙනත් දිශාවකට ගමන් කරන්න පුළුවන්. ඒ වුණත් මේ ක්ෂේත්‍රයෙන් සහමුලින්ම ඉවත් වන්නේ නැහැ. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘සතර දෙනෙක් සෙන්පතියෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වූවාට පසුව ගතවූ අවුරුදු දෙක තුළදී මම වෙනත් කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ.

ඒ සඳහා බලපෑ එකම හේතුව හොඳ නිර්මාණයකට ආරාධනා නොලැබීමයි. ඉස්සර එක වතාවකට රඟපෑම සඳහා හොඳ පිටපත් තුන හතරක් ලැබෙනවා. මොකක්ද තෝර ගන්නේ කියලා ගැටලුවක් තිබුණේ. මේ යන විදිහට නම් මම හිතන්නේ නැහැ ඒ වගේ යුගයක් නැවත ඇති වෙයි කියලා. මේ තත්ත්වය තුළ තෝරාබේරා ගෙන රඟපෑම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මතු කරනවා. ඒ වුණත් සිතට එකඟව නිරූපණය කළ නොහැකි චරිත සඳහා ලැබෙන ආරාධනා භාර ගැනීම කළ නොහැක්කක්. අවර ගණයේ නිර්මාණ සඳහා මා සම්බන්ධ නොවන්නේ ඒ නිසයි.

* රංගනය පිළිබඳ ඔබේ අදහස් දැන ගැනීමට ප්‍රථමයෙන් රඟ නොපා සිටි කාලය ගැන දැන ගන්න කැමතියි

වාහනයකට සර්විස් එකක් අවශ්‍යය වෙනව වගේ රංගන ශිල්පියෙකුට විවේකයක් අවශ්‍යයි. රංගන ශිල්පියාගේ වැදගත්ම මෙවලම ශරීරය හා මනසයි. තමන් ආ ගමන් මගේ අඩු පාඩු සකස් කර ගැනීමටත් තමන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් මම ඒ විවේකය යොදා ගත්තා. සමහර ක්ෂේත්‍ර තව තවත් මුවහත් කර ගත්තා. හොඳ නාට්‍ය චිත්‍රපටි බැලුවා. වැඩමුළුවලට සහභාගි වුණා. ඉගෙන ගත්තා. නිකන්හිටියේ නැහැ. කවි ලිව්වා. පොත පත කියෙව්වා. ඒ තුළ මම ගොඩනැගුණා. නිහඬතාවය නිසා ප්‍රේක්ෂකයාට මා දැකීමේ ආශාව තව තවත් වැඩි වුණා. ඒ හින්දා නරකක් වුණයි කියලා කියන්න බැහැ.

* අඛණ්ඩව රංගන කටයුතුවලට සම්බන්ධ නොවීම ජනප්‍රියත්වයට බාධාවක් නොවේද ?

මම එක දිගට වසර හයක් ජනප්‍රියම නිළිය වුණේ නාට්‍යය රාශියක රඟපෑමෙන් හෝ හැම නාලිකාවකම පෙනී සිටීමෙන් නෙවෙයි. ගතවූ වසර විසි පහක කාලය තුළදී නිරූපණ ශිල්පිනියක් ලෙස මම රංගනයෙන් සම්බන්ධ වී තිබෙන්නේ නිර්මාණ 17 කට පමණයි. ආරම්භයේ සිට අද දක්වා මම ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක වැඩ අවසන් වන තුරු වෙනත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ආර්ථික වශයෙන් පාඩුවක් නෙවෙයි. ටෙලි නාට්‍යය රාශියක රඟපෑවයි කියලා ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් වෙන්න බැහැ. ප්‍රේක්‍ෂකයා තුළ සදා නොමැකෙන මතකයක් අවදි කළ රංගන ශිල්පියෙකුට පමණයි ජනප්‍රියත්වය රඳවා තබා ගත හැක්කේ. රංගන ශිල්පියෙකුට ජනප්‍රියත්වය වැදගත්. ඒ වුණාට මම ජනප්‍රියත්වය ලුහුබැඳ යන්නේ නැහැ.

* පශ්චාත් උපාධිය දක්වා ලබාගත් හින්දි භාෂා ශාස්ත්‍ර ඥානය අධ්‍යාපන ආයතනයකට ලබා දෙන්න කැමති නැද්ද ?

පියාගෙන් ලැබුණු මඟපෙන්වීම නිසා තමයි මම රංගනයට මෙන්ම හින්දි භාෂා අධ්‍යයනයටත් යොමු වුණේ. ඉගෙන ගැනීම ආරම්භ කළේ විභාග ඉලක්ක කරගෙන නෙවෙයි. තෘප්තිය උදෙසායි. නිර්මාණ කටයුත්තකට සම්බන්ධ නොවූ පසුගිය අවුරුදු දෙක මම යෙදෙව්වේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහායි. ඒ මටත් නොදැනී සිදුවුණු දෙයක්. ජීවිතය අත්විඳින්න හුඟක් දේවල් තේරුම් ගන්න දැනුමක් අධ්‍යාපනයෙන් ලැබෙනවා. අධ්‍යාපනය තමයි මාව පෝෂණය කෙළේ. ඒ දැනුම මම අනෙක් අයටත් ලබා දෙන්න කැමැතියි.

නමුත් දැනුම් තේරුම් වයසේ සිටම මම ආයතනගතවීම ප්‍රතික්ෂේප කළා. මම නිදහස භුක්ති විඳින්න කැමති කෙනෙක්. රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණොත් එහි තමන්ගේ හැකියාවන් නිදහසේ වර්ධනය කර ගන්න හැකියාවක් තිබෙන නිසයි. ආයතනික විදිහට නොවුණත් දැනටත් මගේ සේවය අවශ්‍යය අයට වැඩි ප්‍රචාරයක් නොකර ඒ දැනුම ලබා දෙනවා.

* සාර්ථක රංගන ශිල්පියෙක් බිහිවීමට නිසඟ හැකියාව පමණක් ප්‍රමාණවත්ද ?

රංගනය ගැඹුරින් හැදෑරිය යුතු විෂයක්. එයට වෙනම තාක්‍ෂණයක් තිබෙනවා. සාර්ථක රංගන ශිල්පියෙක් බිහි වීමට නිසඟ හැකියාව හෝ රංගන විධි පිළිබඳ ලබන පුහුණුව පමණක් ප්‍රමාණවත් නැහැ. තිර පිටපතක් තුළ තිබෙන්නේ චරිතයක් පිළිබඳ දළ සැකිල්ලක් පමණයි. ඒ තුළ චරිතයේ නොලියවුණු මානයන් සොයා යෑම රංගන ශිල්පියාගේ කාර්යයක්. සමාජ දේශපාලන දැනුම අපිට වැදගත් වෙන්නේ මෙතැනදී. ඒක කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අධ්‍යාපනය නළු වෘත්තීයට බාධාවක් කරගත යුතු නැහැ. චරිතයක නව ඉසව් සොයා ගෙන යාමට සමාජ අවබෝධය වගේම අධ්‍යාපනයෙන් ලැබෙන දැනීමත් වැදගත්. ඒ නිසා මම මේ දෙකින් එකක් වත් බැහැර කරන්නේ නැහැ.

* අද නිර්මාණය වන ටෙලි නාට්‍ය ගැන ඔබ හිතන්නේ කුමක්ද ?

අද වන විට රූපවාහිනී මාධ්‍යයේ සීඝ්‍ර පසුබෑමක් ඇතිවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න අඩුම තරමේ රාජ්‍ය මාධ්‍යය ආයතන දෙක හෝ මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට නිර්මාණ හරහා අනන්‍යතාවයක් ගොඩනගා ගත හැකි වුණේ ඒ අවධියේ ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ රැසක් බිහිවුණ නිසයි. අද ඒ වගේ නිර්මාණ බිහි වෙන්නේ බොහොම කලාතුරකින්. මේ නිසා දක්ෂතා තිබෙන බොහොමයක් තරුණ නිර්මාණකරුවන් අද ඔවුන්ගේ නිර්මාණ එළිදක්වා ගත නොහැකිව අතරමංව සිටිනවා.

රූපවාහිනිය වෙළෙඳ මාධ්‍යයක්. නමුත් ඒ තුළ හරවත්, ප්‍රේක්ෂකයාගේ රසිකත්වය ඉහළට ඔසවා තබන නිර්මාණයන්ටත් ඉඩ තිබිය යුතුයි. දැන් උවදුරක් බවට පත්ව තිබෙන මෙගා නම් ටෙලි නාට්‍යය විශේෂය තුළ මම නම් කිසිම දැවැන්ත බවක් දකින්නේ නැහැ. නිර්මාණයක අන්තර්ගතය තුළ දැවැන්ත බව තිබෙනවා නම් එහි කොටස් ගණන සංඛ්‍යාත්මකව වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ.

* මෙගා ටෙලි නාට්‍යය බිහිවීම සඳහා පාර සකස් කළ දීර්ඝ ටෙලි නාට්‍යවල ඔබත් කාලයක් රඟපෑවා නේද ?

අනෙක් ටෙලි නාට්‍යයන්ට වගේම මම සංඛ්‍යාත්මක වශයෙන් දීර්ඝ ටෙලි නාට්‍යය කිහිපයකටත් දායක වුණා. ඔබ ඔය සඳහන් කරන්නේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යය ගැන විය යුතුයි. එම ටෙලි නාට්‍ය විකාශය වූයේ සතියේ එක දිනකයි. කොටස් 235 විකාශය වීමට 1990 සිට 1995 දක්වා වසර පහක් ගත වුණා. මේ නිර්මාණය හරහා අනෙක් නිර්මාණවලට බාධාවක් වුණේ නැහැ.

අද වෙන්නේ මොකක්ද බලන්න. 7.30 සිට 9.30 දක්වා මුළු සතිය තුළම එක නාලිකාවකින් විකාශය කරන්නේ ටෙලි නාට්‍යය තුනක් පමණයි. මේ තත්ත්වය නිසා බාහිරව නිෂ්පාදනය වන ටෙලි නාට්‍යය විකාශය කිරීමට කාලයක් නැහැ. මේ විකාශන කාලය කණ්ඩායම් කිහිපයක් වෙන් කරගෙන සිටිනවා. ‘දූ දරුවෝ’ නාට්‍යයේ නිෂ්පාදනය කළේ පිළිවෙළක් අනුවයි. ඒ නිසා ශිල්පීන්ට තමන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව ලැබුණා. කතාව ගලාගෙන යන ආකාරය ඔවුන් දැන සිටියා. මෙගා ටෙලි නාට්‍යයවල මොනවද වෙන්නේ කියලා ප්‍රේක්ෂකයෝ තියා ඔවුන්වත් දන්නවයි කියලා මම හිතන්නේ නැහැ.

* ඔබ නිර්මාණ කටයුතු සඳහා සහභාගී වෙන්නේ එකම පිරිසකගේ නිර්මාණ සඳහා නේද ?

නෑ එහෙම නෑ. මම තරුණ නිර්මාණකරුවන් අතරින් අශෝක හඳගම සහ බෙනට් රත්නායක සමග පමණයි වැඩ කර නැත්තේ. සුමිත්‍රා පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි වැනි නිර්මාණකරුවන් සමග වැඩ කොට තිබෙනවා. ඉතින් ඇයි මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ. . .

* නාලන් මෙන්දිස් මහතාගේ සහ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණයන්හි ඔබ වැඩිපුර දක්නට ලැබෙනවා නේද ?

ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණවලට සම්බන්ධ වෙන කණ්ඩායමක් සිටිනවා. ශ්‍රියන්ත, කමල්, ජැක්සන් වැනි අය ඒ තුළ අනිවාර්යෙන්ම නියෝජනය වෙනවා. කාලයක් තිස්සේ එකට වැඩ කිරීමෙන් ලබාගත් අවබෝධය මත එහෙම වෙනවා ඇති. 1999 සිට මමත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. නාලන් මෙන්දිස් මහතාගේ නිර්මාණ වලින් හුඟක් වෙලාවට මම වගේ අයිරාංගනී සේරසිංහ හා චාන්දනී සෙනෙවිරත්න මහත්මියත් සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේ මතයක් ඇති වෙන්න ඇත්තේ මම ඔහුගේ දීර්ඝ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධවීම නිසා වෙන්න ඇති. මොකද ඒ ටෙලි නාට්‍යය සතියකට එක දවසක් විකාශය වුවත් සෑහෙන කාලයක් ප්‍රදර්ශනය වෙන වනේ.

* ඉදිරියේදී ඔබව ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ලැබෙනවාද ?

ඔව් ළඟදීම. මම කිව්ව ආකාරයේ ඒකාකාරී නොවන ප්‍රේක්ෂකයන්ට හරවත් යමක් ගෙන එන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. දැන් එහි වැඩ කටයුතු සෑහෙන දුරකට අවසන් වෙලා තිබෙන්නේ. ප්‍රේක්ෂකයන්ට එම නිර්මාණය ළඟදීම දැක ගන්න ලැබේවි.

0 comments:

Post a Comment