----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දීපිකා ප්‍රියදර්ශනීගෙන් ඔබට "සුදු හංසිනී"

Thursday, September 9, 2010


ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියක වන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ගේ නවතම ගීත ඇල්බමය "සුදු හංසිනී" සැප්තැම්බර් 18 වැනිදා සවස 6.30 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ එළිමහන් පෙරටු පරිශ්‍රයේදී එළිදැක්‌වේ. දීපිකා විසින් ගායනා කරන ලද නවතම ගීත 16 ක්‌ මෙම ගී එකතුවට ඇතුළත් කර ඇති අතර එහි සුවිශේෂතා පිළිබඳව අපි ඇයගෙන් ම විමසුවෙමු.


"මෙහිදී එදා මෙදාතුර මා වෙනුවෙන් ගීත ලියූ ප්‍රතිභාපූර්ණ ගීත රචකයින් පස්‌ දෙනෙක්‌ මම තෝරා ගත්තා. ඒ අයගේ අලුත් ම ගීත මගේ "සුදු හංසිනී" ගී එකතුවට ඇතුළත් වෙනවා. මහාචාර්ය සුනිල් ආරයරත්න, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රී, සුනිල්


ආර්. ගමගේ සහ බන්දුල නානායක්‌කාරවසම් යන ගී පද රචකයින්ගේ මම මෙහිදී තෝරා ගත්තා. "සුදු හංසිනී" ගී එකතුවේ තනු නිර්මාණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසින් සිදු කළා. නවීන තාක්‌ෂණ ඔස්‌සේ සංගීත සංයෝජනය කළේ සුරේෂ් මාලියද්ද යි. යුග ගායනයෙන් දායක වූයේ අමල් පෙරේරා සමග භාතිය හා සංතුෂ් දායක වුණා. වැඩි කාලයක්‌ අරගෙන හොඳම දෙයක්‌ කරන්නයි මට අවශ්‍ය වුණේ."


දීපිකා මීට පෙර " සිනා පොදක්‌" , "සරෝජා", "මල් වරුසා" , "නුඹට ඉන්නෙ මං විතරද" යනුවෙන් ගීත ඇල්බම හතරක්‌ ද එළිදක්‌වා ඇති අතර ඊට විශාල ඉල්ලුමක්‌ අදටත් පැවතිම විශේෂත්වයකි.


"මගේ ගායන ජීවිතය ආරම්භ වුණේ කළුබෝවිල ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙනුයි. දහම් පාසලේ හැම ගායන තරගයකටම මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. රත්නපුරේ සීවලී ස්‌වාමින් වහන්සේ සහ අතුල රන්සිරිලාල් මහතා දහම් පාසලේ ආචාර්යවරු ලෙස එදා මගේ හැකියාවන් හදුනාගෙන මට දිරිය දුන්නා. ගුවන් විදුලි වැඩසටහන් වලට සම්බන්ධවෙන්නත් මට අවස්‌ථාව ලැබුණා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ මම ඉගෙන ගත්ත කාලය කවදාවත් අමතක කරන්න බැහැ. පාසල් කාලයේදී කරන්න බැහැ. පාසල් කාලයේදී ගායන අංශයෙන් සමස්‌ත ලංකා ජයග්‍රහණ රැසක්‌ මම ලබාගෙන තිබෙනවා. ඊට පස්‌සේ විශාරද නන්දා මාලනී, ඩන්ස්‌ටන් ද සිල්වා, රෝහණ වීරසිංහ යන ගුරුවරු යටතේත් මම සංගීතය ප්‍රගුණ කළා."


විජය ධර්මශ්‍රීගේ භාග්‍ය ටෙලි නාට්‍ය සඳහා ආනන්ද වීරසිරි සමග දීපිකා ගැයූ "ආජුතපර ලාහිලා" ගීතය ගැයීමෙන් පසු විශාල ජනප්‍රියත්වයක්‌ දීපිකාට හිමි විය. ගුවන් විදුලියේ ඒ ශේ්‍රණියේ ගායිකාවක වන ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රවේදී හා ශාස්‌ත්‍රපති උපාධි ලබාගෙන ඇති අතර භාත්කණ්‌ඩ සරසවියෙන් ගායනය පිළිබඳ ප්‍රථම පංති විශාරද උපාධිය හා සංගීත ඩිප්ලෝමාව ද ලබාගෙන තිබේ. පානදුර ගොරකාන, නුගේගොඩ අනුලා යන විද්‍යාවල සංගීත ගුරුවරියක ලෙස කටයුතු කළ විශාරද දීපිකා මේ වන විට කොළඹ විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය වන්නීය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක පසුබිම් ගීත ගායනා කර ඇති ඇය ශ්‍රී ලංකාවේ ඉහළම සම්මාන


රැසක්‌ ද ලබාගෙන සිටින්නී ය. එපමණක්‌ නොව ශ්‍රී ලාංකික සංගීතය උදෙසා සිදු කළ මෙහෙවර උදෙසා 2000 වසරේ සම්භාව්‍ය ජපාන බුන්කා සම්මානය ද ඇයට හිමි විය.


වල් බිහිවි ඇති සංගීත ක්‍ෂේත්‍රයේ උඩුගං බලා පිහිනා යන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ වැනි ශිල්පිනියන් සංගීත ක්‍ෂේත්‍රයට පමණක්‌ නොව අපේ රටට ද මහත් ගෞරවයක්‌ ගෙන දෙන අගනා පහන් තාරකාවක්‌මයි ඇයට අපි සුභ පතමු.

තුෂාරී කළුබෝවිල
ඡායා - නාරද අමරතුංග



Source
- නවලිය
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment