----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඉර හඳ යට

Wednesday, September 8, 2010

‘අසීරු මාතෘකාවක් කාව්‍යාත්මකව, සංවේදීව ඉදිරිපත් කිරීම නිසයි මේ සම්මානය පුද කරන්නේ’. ඉතාලියේ පවත්වන අන්තර්ජාතික සිනමා උළෙලකදී ලොව හොඳම චිත්‍රපටයට හිමි සම්මානය අපේ රටට දෙවැනි වරට දිනා දුන් බෙනට් රත්නායකගේ ඉර හඳ යට චිත්‍රපටයට සම්මානය පුද කරමින් ඉතාලියේ අයිඩෙන්ට්ටා (Identita) සිනමා උළෙල පුරා රාව ප්‍රතිරාව නැංවූ හඬේ ගැබ්ව තිබුණේ එම අරුතයි.

බෙනට් රත්නායකගේ ඉර හඳ යට චිත්‍රපටයට පෙර ඉතාලි සිනමා උළෙලකදී මෙරටින් හොඳම චිත්‍රපටය වශයෙන් සම්මානයට පාත්‍රව ඇත්තේ ටයිටස් තොටවත්තයන්ගේ හඳයා නම් වූ අති විශිෂ්ට චිත්‍රපටය පමණකි. ඒ ඉතාලියේ ගිෆොනි සිනමා සම්මාන උළෙලේදීයි.

එසේම ‘ඉර හඳ යට’ චිත්‍රපටයට තේමා පාඨ ගන්වා ඇත්තේ ද ‘පෙම්වත් සිත සුවපත් කළ මිනිසත්කම’ වශයෙනි.

එය අයිඩෙන්ට්ටා සිනමා උළෙලට තේමා කර ගන්නා ‘ආදරය සහ මානව දයාව’ අරුත් ගන්වන චිත්‍රපටයක් බවට ඉඟි පළ කරන්නකි.

පෙර ඉඟියෙන් පමණක් නොව චිත්‍රපටයේ අන්තර්ගතයෙන්ම ඒ බව පැහැදිලි කරන්නට සමත් වූ මීට උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී අරගලය පැවැති යුගයේ එක් ත්‍රස්තවාදී සිර කඳවුරක සිරකරුවන් ලෙස මුණ ගැසුණු රජයේ සොල්දාදුවන් දෙදෙනකුගේ සහෝදරත්වය, ඔවුනොවුන්ගේ ජීවිත අත්දැකීම් අතර වූ සුන්දර ආදර අත්දැකීම් අනුවේදනීය වූත් සෞන්දර්යාත්මක වූත් කතා ධාරා දෙකක් තුළින් එකවර රිදී තිරයට සිතුවම් කරයි.

පසුගිය ජූලි මස ඇමෙරිකාවේදී පැවැති ලොස් ඇන්ජලීස් සිනමා උළෙලේ වෘත්තාන්ත චිත්‍රපට අංශයෙන් ජූරියේ විශේෂ සම්මානය නම් වූ එහි ප්‍රමුඛ සම්මානයක් දිනා ගන්නටත් ඉර හඳ යට චිත්‍රපටය සමත් විය. එපමණක් නොව මීට මාස ගණනාවකට ඉහත දී සිංගප්පූරුවේදී නිමාව දුටු 23 වැනි සිංගප්පූරු අන්තර් ජාතික සිනමා උළෙලේ දී පරිපූර්ණ රංග කුසලතා (Best Performance) වෙනුවෙන් පිදෙන සම්මානය සතු කර ගත්තේ ද මෙම චිත්‍රපටයමයි.

මෙවර කොරියාවේ ‘පියොන් යැංග් ‘සිනමා උළෙල නියෝජනයට වරම් ලද ලාංකේය චිත්‍රපටය වන්නේ්ද ඉර හඳ යට යි.

අන්තර් ජාතික සිනමාවේදී පෑ සුවිශේෂී විශිෂ්ටතා නිසාවෙන් සේම යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සිත් සතන් සුවපත් කිරීමට පිදෙන තිළිණයකැයි මේ සිනමා පටය පිළිබඳ එහි අධ්‍යක්ෂවරයාගේ අරුත් ගැන්වීම නිසාවෙන් ලාංකේය පේ‍්‍රක්ෂකයින් කලෙක පටන් මෙම සිනමා කෘතිය නැරඹීමේ ආශාවෙන් පසු වූහ. ඔවුන්ගේ පැතුම් සඵල කරමින් අද (2) දා පටන් E A P මණ්ඩලයට අයත් සිනමාහල්වලින් චිත්‍රපටය තිරගත කිරීම ඇරඹේ.

නවක සුරූපී නළු නිළි යුවළක් වන උදාර රත්නායක සහ ටාෂා දර්ශනී මෙහි ප්‍රධාන චරිත රඟති. දිල්කි නෙත්මිණි මෙහි ප්‍රබල චරිතයකට පණ පොවණ නවක ළමා නිළියයි.

සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, සුවිනීතා වීරසිංහ, දර්ශන් ධර්මරාජ්, පාලිත සිල්වා, බිමල් ජයකොඩි, ෂෙරිල් රොමේන්, දමිතා අබේරත්න, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, නඩරාජා ශිවම්, රංගන ප්‍රේමරත්න, සෙල්වම් කුමාර්, රොජර් සෙනෙවිරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුමින්ද සිරිසේන, දි. ග සෝමපාල, ජගත් බෙනරගම, අජිත් ලොකුගේ, සම්පත් ජයවීර, සමන් හේමරත්න, කුමාර තිරිමාදුර, සුදාර චන්ද්‍රසිරි, භාග්‍යා රත්නායක ඇතුළු තවත් නළු නිළියන් රැසක්ම මෙහි රඟති.

බෙනට් රත්නායක අස්වැසුම, සුළඟ ආදී සම්මානනීය චිත්‍රපටවලට පසු අධ්‍යක්ෂණය කළ තෙවැන්න ඉර හඳ යට යි.

මෙහි නිෂ්පාදකත්වය සමන්මලී හේවාමාන්න, ඔලිවර් ප්‍රනාන්දු, රුවන් ජයසිංහ, විජිත හේරත් සහ ඩිලාන් ප්‍රනාන්දුගෙනි. කතාව, දෙබස් තිර රචනයට බෙනට් සමඟ සරත්චන්ද්‍ර ගම්ලත් එක් වී ඇත.

සහාය අධ්‍යක්ෂණය රන්ජන් ප්‍රසන්නගෙනි. කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. අංග රචනය ප්‍රියන්ත දිසානායකගේය. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහයන්ගෙනි.

අජිත් රාමනායකගේ සංස්කරණයකි. කලා අධ්‍යක්ෂවරයා සුජීව ගුණරත්නය. ඇඳුම් නිර්මාණ කුමාර කරව්දෙනියගෙනි. නිෂ්පාදන කළමනාකරණය දීප්ති වීරසූරිය සහ අනුර ගාම්භීරආරච්චිගෙනි.


Source
- සරසවිය 2010 - 09 - 02

උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment