----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රජරට වැසියන්ගේ කතාව "සඳගිරපව්ව"

Thursday, July 22, 2010


අප බොහෝ දෙනා අද දවස වන විට ආලින්දයට ආ රූපවාහිනියට ළං වන්නට පටන්ගෙන තිබේ. එහි ඇති නාලිකාවන්ගෙන් විකාශනය වන ටෙලි නාට්‍යය ද මතකයේ තබා ගැනීමට නොහැකි තරම්ය. එම ටෙලි නාට්‍ය වලින් වැඩි හරියක්‌ම විකාශනය වන්නේ මෙගා නමින් හැඳින්වෙන දීර්ඝ ටෙලි නාට්‍යවලිනි. මේවායේ බොහෝ දුරට ගොඩනැගෙන්නේ ආදර කතාවන්ය. සත්‍ය සිදුවීම් අලලා ප්‍රමිතියකින් හෙබි තේමාවන්ගෙන් යුත් ටෙලි නිර්මාණ බිහිනොවන්නෙ නොවේ. සඳගිරපව්ව නමින් මේ දිනවල ස්‌වර්ණවාහිනියේ රාත්‍රි 8.30 කණිසමට සෑම ඉරිදා දිනකම අප දකින්නේ එවන් නැවුම් ආකාරයේ ටෙලිනාට්‍ය මාලාවකි. මෙය කොටස්‌ පනහකින් යුතු ටෙලි චිත්‍රපට මාලාවකින් සමන්විතය.

"සඳගිරපව්ව" සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණයක්‌. මෙය ඔහුගේ දෙවැනි ප්‍රාසාංගික නිර්මාණයකි. 2007 දී රයිගම් හා සුමති ටෙලි සම්මානවලට පාත්‍ර වුණු "සඳගලතැන්න" ඔහුගේ පළමු නිර්මාණයයි. ජාතික තරුණ සේවා සභාවේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය සහ තාක්‍ෂණ පාඨමාලාව හැදෑරීමෙන් ගමන් මග ඇරඹූ ඔහු ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස වසර 16 ක සේවා දිගුවකට හිමිකම් කියයි. 2000 වසරේදී නාට්‍ය කරළියට සම්බන්ධ වුණු සමන් අද වන විට ස්‌වර්ණවාහිනි ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදකවරයෙක්‌ වශයෙන් කටයුතු කරයි. "සඳගිරපව්ව" අධ්‍යක්‍ෂගේ තොරතුරු බිඳකි ඒ.

"සඳගලතැන්න" නිර්මාණයේ ගුණාත්මක බව දුටු ස්‌වර්ණවාහිනි ආයතනය ඔහුට ආරාධනාවක්‌ කර තිබෙනවා හොඳ නිර්මාණයක්‌ කරන්න. ඒ අනුවයි සඳගිරපව්ව ටෙලි සිත්තම ඔබේ ආලින්දයට එන්නේ.

සුමනසිරි දසනායකයන්ගේ මිහිතලය නව කතාව ඇසුරෙන් සඳගිරපව්ව ටෙලිය නිර්මාණය වෙයි. මෙය නියඟයෙන්, වැස්‌සෙන් මෙන්ම අලි උවදුරෙන් බැටකන රජරට වැසියන්ගේ ජීවිත පිළිබඳ සත්‍ය කතාවක සිදුවීමක්‌ අලලා රූපරාමුවට ගොඩනැගෙයි. මෙයි රූගත කිරීම් ගල්ගමුව හා ඇහැටුවැව ප්‍රදේශවල සිදුකර ඇත.

ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ දැන් තිබෙන්නේ ෙ€දවාචකයක්‌. ඇත්තටම දැන් දකින්න ලැබෙන්නේ පැරණි ගුවන් විදුලි නාටක. එක රාමුවක සිට දෙබස්‌ කියනවා. දෙබස්‌වල ගුණය විතරයි දකින්න ලැබෙන්නෙ. ශිල්පීන්ගේ රංගන පරාසයන් දකින්න නැහැ. ඒ වගේ කාලෙක සඳගිරපව්ව නාට්‍ය ගැන කාටහරි හිතෙන්න පුළුවන් අභියෝගයක්‌ කියලා. මෙයට හොඳ ප්‍රතිචාර තිබෙනවා. මෙය නරඹන්න වෙනමම පිරිසක්‌ සිටිනවා යෑයි අධ්‍යක්‍ෂ සමන් කුමාර පැවැසීය.

සංජීව උපේන්ද්‍ර, මොරින් චාරුණී, හංසමාලා ජානකී, හිමාලී සිරිවර්ධන, සම්පත් තෙන්නකෝන්, ගේ්‍රස්‌ ආරියවිමල්, කුමාර තිරිමාදුර, නුවන්ගි ලියනගේ, ගිහාන් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, මනෝහාරී විමලතුංග, නනූජා දිල්හානි, දයා තෙන්නකෝන්, දයා අල්විස්‌, මැණිකේ අත්තනායක, බන්දුල විතාන, රිචඩ් මානමුදලි, ජනක්‌ ප්‍රේමලාල්, මාලී ජයවීර, සුමිත් රත්නායක, නිමාලී මාකුඹුර සඳගිරපව්ව ටෙලි චිත්‍රපටයට රංගනයෙන් දායකවෙති.

සමන් කුමාරගේ අධ්‍යක්‍ෂණයට නවරත්න ගමගේ සහ රංජිත් ප්‍රේමවීර සංගීතයෙන්ද, දීපාල් ගුණසේකර සංස්‌කරණයෙන්ද, නාරද තොටගමුව අංග රචනයෙන්ද, උපුල් මංජුල නිෂ්පාදන කළමනාකරණයෙන්ද බුද්ධික ඉන්ද්‍රජිත් කැමරාකරණයෙන්ද එකතුවෙති.


දිනේෂ් විතාන


0 comments:

Post a Comment