----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හදිසි අනතුර ඉරණම විසඳන්න දෙවියෝ දුන්න තෑග්ගක්

Sunday, July 11, 2010

විකට රංගනයෙන් ඔබ හමු වූ මහේෂ් ජයසිංහ

වැඩිය සද්ද බද්ද නැති විධියට අඩිය තියන්නේ
හිටපු ගමන් නොපෙනී යන්නේ
අඩිය අඩිය යයි පෙරටම කඩිසර ගමනේ
කම්මැලිකම ගෑවී නෑනේ
කවුද මෙයා කවුද මෙයා
ඩියර් ඩියර් කඩියා කඩියා
මයි ඩියර් කඩියා කඩියා

ගීතය හරහා ඉමහත් රසික ප්‍රසාදයක් දිනා ගත් ඔහු දශක තුනක් පුරා කලා ක්ෂේත්‍රයේ රැඳෙමින් රංග ශිල්පියෙකු ලෙසින් ද ප්‍රේක්ෂක ප්‍රසාදය දිනූ ප්‍රසංග වේදිකා ශිල්පියකු ලෙසින් ද ජනප්‍රියය. සිනමා තිරයේ කවටයා ලෙසත් ප්‍රසංග වේදිකාවේ කඩියා ලෙසත් අනවර්ථ නාමයෙන් හැඳින් වූ ඔහු මහේෂ් ජයසිංහය.

දශක තුනකටත් අධික කාලයක පටන් සිනමා අඹරේ ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටින මහේෂ් කලකට පසු පෙරළිකාර රංගන දිවියේ රස මුසු තැන් සොයා ගිය පිළිසඳරකට එක් වූයේ මේ අයුරින්.

මහේෂ් මේ දවස්වල ඔබේ කලා තොරතුරු කොහොමද?

හැත්තෑව දශකයේ සඳා චිත්‍රපටයෙන් රංගනයට අවතීර්ණ වූ මා මේ වන විට චිත්‍රපට එකසිය හැත්තෑවක රඟපාලා තියෙනවා. අනූව දශකයේ ‘මුතුලන්ද’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනය ඇරඹූ මම ටෙලි නාට්‍ය කීපයක් සඳහා මේ වන විට රංගනයෙන් දායක වී තිබෙනවා.

ගායකයකු ලෙසින් ප්‍රසංග වේදිකාවට එක් වූ මා ගීත ඇල්බම් හතරක් තුළින් රසිකයන් අතරට එක් වී තියෙනවා. මෑත කාලයේ දීර්ඝ විරාමයකින් පස්සේ වැඩ බැරි ටාසන් අංක 2 චිත්‍රපටයටත් සිල් ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.

ඒ අතරේ ඉදිරියේදී රූපගත කිරීමට බලාපොරොත්තු වන චිත්‍රපට කීපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා.

* නළුවකු ලෙස මෙන්ම ගායකයකු ලෙසින් කලා ක්ෂේත්‍රයේ නමක් දිනූ ඔබ අද ගායන ක්ෂේත්‍රයට සමු දීලද?

මට ජීවත් වෙන්න මගක් කියලා දුන්න කෙනෙකුට ජීවත් වෙන්න මාර්ගයක් නිර්මාණය වෙච්ච කිසිම දේකට පයින් ගහන කෙනෙක් නෙමේ මේ මහේෂ් ජයසිංහ. නළුකමට වගේම ගායනයටත් මම හරි ආදරෙයි. මහේෂ් කියන නමට වඩා මාව කඩිය කියල ප්‍රසිද්ධ වුණේ මේ ගායනයට පිං සිදු වෙන්න.

එදා මම කඩිය ගැන කිව්ව සිංදුව තමයි මාව ප්‍රසංග වේදිකාවේ නොමැකෙන චරිතයක් බවට පත් කළේ. මේ වෙන කොට මම කැසට් පට හතරක් එළි දක්වා තියනවා.

‘ඔබ මට කඳුළක්’, ‘කඩියා’, ‘හද වේදනා’, ‘තුරුලිය ගොමුවේ’. මේ ගීත ඇල්බමයන් හරහා මම රසිකයන් අතර අදත් ඉන්නවා. ආරාධනා ලැබෙන පරිදි ප්‍රසංග වේදිකා සඳහාත් දායක වෙනවා.

* එදා මෙදාතුර ඔබ සිනමාවේ විකටයා චරිතය තුළ කොටු වෙලා නේද?

ඔව්, චිත්‍රපට 170 ක රඟපෑවා. ඒ හැම එකකම ජෝකර් මම. මම කළ ජෝක්ස් හැටට හැටේ නැගලා ගියා මටත් නොදැනී. ඒ අතරේ මාවත් ප්‍රේක්ෂකයන් අතරේ හොඳට නැගල ගියා. හැම චිත්‍රපට නිෂ්පාදකයෙක්ම, අධ්‍යක්ෂවරයෙක්ම මාව ගත්තේ ජෝක්ස් කරන්න. මම කොච්චර එයින් පිට පනින්න උත්සාහ කළත් ඒ කිසිම කෙනෙක් ඒකට මට ඉඩ දුන්නේ නෑ.

* සිනමා අඹරේ දිදුළන නළු නිළියන් සමඟ ඔබට දශක තුනක් පුරා රංගනයේ නියැලෙන්න ලැබුණා නේද?

ඔව්. දශක තුනක් කියන්නේ් පොඩි කාලයක් නෙමේ. ඒ කාලය තුළ චිත්‍රපට එකසිය හැත්තෑවක් කියන්නේ සුළු පටු ගණනක්ද? ෆෙ‍්‍රඩී සිල්වා, බන්දු සමරසිංහ, නිහාල් සිල්වා, දොන් සිරිසේන, ජෝසප් සෙනෙවිරත්න, හියුගෝ මාස්ටර්, ටෙනිසන් කුරේ මේ හැම කෙනෙක් එක්කමත් ජෝක්ස් කරන්න මට භාග්‍ය ලැබුණා.

ඔබට ජීවිතයේ අවාසනාව ගෙනා රිය අනතුර ගැන අද ඔබ තෘප්තිමත්ව කතා කරන චරිතයක් බවට පත්වෙලා කියලයි මට හිතෙන්නේ?

අද මම ඉන්න තත්ත්වය මම ලබන සැප සම්පත් දිහා ආපසු හැරිල බලන කොට මට එදා අපා දුක් දුන්නු රිය අනතුර තමයි අද මට මේ විඳින හැම සැප සම්පතක්ම දුන්නේ කියන විශ්වාසය මට තියෙනවා. එදා වගේ බිහිසුණු අනතුරක් නොවන්න මේ එක සැපක්වත් මට අද නොලැබෙන්න තිබුණා.

රෝයි ද සිල්වාගේ ටෙලි නාට්‍යයක් සඳහා රූපගත කිරීම්වලට යන කොට කඳානේදී වෑන් එකක මගේ මෝටර් සයිකලය හැප්පුණා. හැප්පෙන කොට මාව බඹ ගාණක් අහසට විසි වුණා. පාස්පෝට් වීසා නැතිව අහසේ පාවෙන කොට කොයි රටට වැටෙයිද කියලත් පොඩි ආතල් එකක් අහසෙදි දැනුණා.

ඒත් එක්කම ආත්තල් එක යන්නත් එක්ක තාර පාරේ ජබොක් ගාල ඇදගෙන වැටුණා විතරයි මතක. සිහිය එන කොට හිටියේ කොළඹ ජාතික රෝහලේ හැත්තෑ දෙකේ වාට්ටුවේ ට්‍රොලියක. කකුල් දෙකම කැඩිලා මාරාන්තික තුවාල ලබල එක තැන වින්ඳ දුක් අප්‍රමාණයි.

මම අහල තියෙනවා දුකක් වින්ෙඳාත් සැපක් ලැබෙනවා කියන එක. අද වෙන කොට මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා හොඳ ස්ථාවරයක ඉන්නවා.

* ඔබ කියන දෙවියො දුන්න වාසනාව මොකක්ද?

ඇත්තටම අද මම මේ ඇවිත් ඉන්න ගමන් මග හීනයක් වගේ. රිය අනතුරට පස්සේ මම වැටිල හිටිය අසරණ තත්ත්වයත් එක්ක දවසක් පුටුවක් එළියට දාගෙන කොස් ගහක් යටට වෙලා කැඩිච්ච කකුල් දෙක උඩින් තියාගෙන ඉන්න කොට වාහනයකින් කෙනෙක් ඇවිත් මහේෂ් අයියා ඉතාලියේ ගිය කෙනෙකුට ඉඩමක් හොයනවා. ඉඩමක් මේ හරියේ තියනවා කියලා හෝඩුවාවකට ආවේ. ඒත් තියන තැන හොයා ගන්න බැරි වුණා. පුළුවන්ද සපෝට් එකක් දෙන්න කියලා. කකුල් දෙකම කැඩිල ඉන්න ඇවිද ගන්න බැරි මම හොයල බලන්නම් කියලා පොරොන්දු වුණා.

පස්සේ යාළුවෙක්ගේ මෝටර් සයිකලයක නැගලා මේ ඉඩම තියෙන තැන හොයා ගෙන ගිහින් ඉඩම ගන්න තැනට වැඩ කළා. ඒ වෙලාවේ මම නොහිතුව විදියට ඉඩම ගන්න කෙනයි, ඉඩම වික්ක කෙනයි මට විශාල මුදලක් අතට දුන්නා. ඒකෙන් මම වෙලා තිබුණ ණය බේරලා ඉතිරි ටික බැංකුවේ දාගෙන දෙවියො ගෙදරටම ගෙනත් දුන්න වාසනාව ඔස්සේ මම ඉඩම් ව්‍යාපාරයට පෙළඹුණා. ඒ කියන්නේ බ්‍රෝකර් වැඩේ හිතුවටත් වඩා සාර්ථක වුණා. ඉතාලියේ ගිහින් හිටිය මේ ප්‍රදේශයේ ගොඩක් අයට මම ඉඩම් අරන් දුන්නා.

විශ්වාසවන්තව මගේ කාර්ය මම කරපු නිසා දවසින් දවස මගේ කස්ටමස්ලා වැඩි වුණා. දේශීය වගේම විදේශ රටවල රැකියාව කරන අයත් මාව හොයාගෙන ආවා. නිතර කතා කළා. ඒ අයට විශ්වාසවන්තව මගෙන් සේවය ලැබුණා.

මගේ් අතටත් විශාල මුදලක් ලැබුණා. මේ වෙන කොට කියන්න වෙන්නප්පුවේ පල්ලියෙ වත්තයි, මිනී පිට්ටනියයි විතරයි මගෙන් බේරිලා රැකිලා තියෙන්නේ. අනිත් ඔක්කොම ඉඩම් මගේ ගැනුම්කරුවන් අතරට මම පත් කරලා ඉවරයි.

ඔන්න බලන්න කැඩුන කකුල් දෙකේ බලේ. අද මම මේ ඉන්න තත්ත්වය ගැන හිතෙන කොට මට හිතෙනවා එදා මාව හප්පපු වෑන් අයිතිකාරයා හොයා ගෙන ගිහින් තෑග්ගක් දෙන්න. එහෙම හප්පල හරි මගේ කකුල් දෙක එදා කඩල නොදමන්න මම අද මේ තත්ත්වයට පත් වෙන්නේ කොහොමද?

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

ලොකු පුතා ඉරාන් ජයසිංහ ගායකයකු ලෙසත්, නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කරනවා. දෙවැනි දියණිය ඉෂානි ජයසිංහ ගායිකාවක් වගේම පෞද්ගලික බැංකුවක රැකියාවක නිරත වෙනවා. බාල දුව ඉරෝමා තාරුකා තවම පාසල් යනවා. ඇය නර්තනයට දක්ෂයි. බිරිය ඉරේෂිකා එදත් අදත් මට සෙවනැල්ලක් වගේ මාව දිරිමත් කරමින් මට ශක්තියක් වී සිටිනවා.

* එදා රිදී තිරයේ ඔබ ජෝකර්, අද ඔබ සැබෑ ජීවිතයේ බ්‍රෝකර්. මේ දෙන්නගෙන් ඔබ කාටද වඩාත් කැමති?

මේ දෙන්නටම මම එක වගේ ආදරෙයි. මගේ ජීවිතයේ ජයග්‍රහණයේ පිටුපස සිටින සෙවනැලි දෙක තමයි ජෝකර්, බ්‍රෝකර්. ටික කාලයක් කඩිය වගේ සද්ද දැම්මා. තව කලයක් කැස්බෑවා වගේ බිත්තර දාලා ටික කාලයක් පැටවු එනකන් නිහඬව හිටියා. අපල කාලේ කකුල කැඩිලා ගෙවිල ගියා. බ්‍රෝකර්කම දෙවියො දෙපතුළටම ගෙනත් දුන්න කලාවෙන් හොයපු මුදලටත් වඩා සිය දහස් ගුණයක් මගේම උත්සාහයෙන් කැපවීමෙන් මගේ ව්‍යාපාරවලින් මම හොයා ගත්තා. මේ හැම දෙයක්ම ලැබෙන තුරුත් මම ළඟ හිටියෙ හැමදාම දුක සැප එක්ව විඳ දරා ගත් මගේ බිරියත්, දරු තිදෙනාත් විතරයි.

රිදී තැල්ල, වෙන්නප්පුව මහේෂ් ජයසිංහගේ ලිපිනයයි.

0 comments:

Post a Comment