----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නිශ්ශංක දිද්දෙණියගෙන් ගී රඟ සොබා

Monday, June 21, 2010

දශක ගණනාවක් තිස්සේ ලාංකේය වේදිකාවේ ප්‍රබල රංග ශිල්පියකු ලෙස සිය අනන්‍යතාව සටහන් කළ නිශ්ශංක දිද්දෙණිය නම් කලාකරුවා හුදෙක් රංගන ශිල්පියකු පමණක් නොව මෙරට ශෛලිගත රංග සම්ප්‍රදාය සඳහා අවශ්‍ය ගායන හා නර්තන හැකියාව ත්මනාව මුසු කරන්නකි

‘සිංහබාහු’ නාටකයේ ‘සිංහබාහු’ රංගනය පමණක් වුවද ඔහුගේ එම පැතිරුණු ප්‍රතිභාව කියාපාන කදිම සාක්ෂියකි.

මේ ප්‍රවීණ නාට්‍යවේදියාගේ ප්‍රධාන සංවිධානයෙන් යුතුව ඉදිරිපත් කෙරෙන ‘ගී රඟ සොබා’ නම් නූර්ති, නාඩගම් හා ටීටර් ගීත ඇතුළත් විචිත්‍රවත් නාට්‍ය ගී ප්‍රසංගයක් මේ 23 දා සවස 6.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

ඒ පිළිබඳ ඔහු සමඟ කළ කෙටි කතාබහකි මේ.

මේ ප්‍රසංගයේ අරමුණ?

නූර්ති, නාඩගම් සහ ටීටර් ගීත සඳහා අප රටේ තරුණ පරම්පරාව අතර ඇත්තේ පුදුම උනන්දුවක්. ඒ නිසාමයි මෙවැනි ප්‍රසංගයක් යළි සංවිධානය කරන්නට මා තීරණය කළේ. මිට පෙර කිහිප වතාවක් මෙම ප්‍රසංගය වේදිකා ගත කළා. ඒ සඳහා ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්.

මෙම ගීත සම්ප්‍රදායන් පිළිබඳ හැඳින්වීමක් කළොත්?

ඔව්, රටක සංස්කෘතියකට අදාළ සංගීත සම්ප්‍රදායක් තිබෙනවා. අප රටෙහි නම් ජන සංගීතය, නූර්ති සම්ප්‍රදාය අයත් වන්නේ උත්තර භාරතයට. උත්තර භාරතයේ සංගීතඥයන් වන විශ්වනාත් ලව්ජි, පණ්ඩිත් ජටා ශංකර්, අමීර් ඛාන්, අබ්දුල් අසීස් වැන්නන් මෙරටට පැමිණ නූර්ති සම්ප්‍රදාය ආරම්භ කළා. ඔවුන්ට නීතිඥ ජෝන් ද සිල්වා මහතාගෙන් ලැබුණේ සුවිශේෂී සහයක්. ඔවුන් නිර්මාණය කළ ‘අද වෙස්සන්තර රාජ පුතා’, ‘දන්මෝ බුදුන්ගේ’ වැනි නූර්ති ගී අද පවා රස විඳීය හැකියි.

දක්ෂිණ භාරතයට අයත්. නාඩගම් මෙරටට පැමිණියේ 17 – 18 වැනි ශත වර්ෂවල. ‘ගාම්භීර තෙදැති’, ‘උත්තම වන් ලොව පතලා’ වැනි ගීත නාඩගම් මීට අයත් වෙනවා.

ටීටර් සම්ප්‍රදාය පිළිබඳ යමක් කතා කරනවා නම් මිනර්වා නාට්‍ය කණ්ඩායමත් සමඟ ටීටර් මෙරටට පැමිණියා. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සහ සිරිසේන විමලවීර වැන්නන් තමයි ටීටර් මෙරට ප්‍රකට කරන්නට පුරෝගාමී මෙහෙවරක යෙදුණේ. ටීටර් නැමති සමාජ නාට්‍යවලට කතා පුවත සකස් වන්නේ එදිනෙදා සිදු වන සාමාන්‍ය සිදුවීම් මූලික කොට ගෙනයි. කවාලා විළඳ ජාති, පනාමුරේ ඇත් රාජා, සභාවේ ගීතය වැනි ගී ටීටර් සම්ප්‍රදායට අයත් ගීතයි.

‘ගී රඟ සොබා’ ප්‍රසංගයේ අන්තර්ගතය පිළිබඳව කතා කළොත් ?

රාමායනය, ශ්‍රී වික්‍රම, පද්මාවතී, හේමමාලි, සිරිසඟබෝ, විදුර වැනි ප්‍රසිද්ධ නූර්ති නාටකවල සහ ඉව්ජිත්, බුම්පොඩ්, බැලසන්ත, බ්‍රහ්මදත්ත වැනි නාඩගම්වල මධුරතම රංගමය ගීත මෙන්ම ප්‍රසිද්ධ ටීටර් නාටකවල ගීත රැසකින් ප්‍රසංගය සමන්විතයි. පැය 2 1/2 ක් ප්‍රසංගය දිග හැරෙනවා. සමහර ගීත එය අඩංගු නාට්‍ය ජවනිකාවේ දෙබස් සමඟ රඟ දැක්වෙනවා.

‘ගී රඟ, සොබා’ යළි සංවිධානය කරන්න හිතුණේ ඇයි?

අප සංගීත වැඩමුළු සඳහා රටේ නොයෙක් ප්‍රදේශවලට යනවා. බොහෝ විට එහිදී අප ගයන සමහර නූර්ති, නාඩගම් ගීත බොහෝ දෙනෙකු ඊට පෙර අහලාවත් නැහැ, විශේෂයෙන් සංගීත ගුරුවරු පවා. ඔවුන් මට කිවු දෙයක් තමයි එවැනි ගීත අඩංගු ප්‍රසංගයක් කරන්න කියන එක. එය තමයි ප්‍රධාන හේතුව ‘ගී රඟ සොබා’ යළි එළිදක්වන්න.

මේ සඳහා ශිල්පීය දායකත්වය ලබා දෙන්නේ?

රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, අනුලා බුලත්සිංහල, ගාමිණී අම්බලන්ගොඩ, රත්නා ලාලනී ජයකොඩි, ප්‍රියංවදා මධුභාෂිණී සමඟ මා ඊට දායක වෙනවා. ප්‍රවීණ සංගීතඥ රංජිත් බාලසූරිය ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලය සංගීතමය දායකත්වය සපයනවා. අංග රචනා ශිල්පියා ජගත් පද්මසිරි. වේදිකා ආලෝකකරණය උපාලි වීරසිංහ ගෙන්.

අවසන් වශයෙන් ඔබට යමක් කියන්න ඇති?

ඔව්, මෙම ප්‍රසංගයෙන් ලැබෙන මුදල් අප යොද වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ උන්නතිය වෙනුවෙන්. එක අතකින් මෙය සමාජ සත්කාරයක්ද වනවා. මා විශ්වාස කරන විදිහට ‘ගී රඟ සොබා’ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.

පැරැණි නූර්ති, නාඩගම්, ටීටර් ගීතවල වටිනාකම මනාව මෙම ප්‍රසංගයෙන් විඳගන්න පුළුවන්.

0 comments:

Post a Comment