----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සෝමලතා සුබසිංහගෙන් ළමුන් සඳහා...

Monday, June 14, 2010


සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම ඉදිරිපත් කරන ‘ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම්’ වැඩ සටහනේ මීළඟ වාරය 2010 ජූලි මාසයේදී ඇරඹීමට නියමිතය.

මෙම වැඩ සටහන ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ සෝමලතා සුබසිංහගේ සහ ඇයගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු මෙන්ම ළමා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය චන්දන අලුත්ගේ විසින් මෙහෙයවනුලබයි.

ලංකා ළමා හා යොවුන් රඟහල පදනම සහ එහි නාට්‍ය නිෂ්පාදන හා පුහුණු අංශය වන ‘කෝට්ටේ රංග පීඨය’ සෝමලතා සුබසිංහ විසින් 1981 දී ස්ථාපිත කරන ලද්දකි. ළමුන් හා යෞවනයන් සඳහා නාට්‍ය නිෂ්පාදනය හා රංගනය දියුණු කිරීම, ශිල්පීන් පුහුණු කිරීම හා නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණ කිරීම මෙම ආයතනයේ අරමුණු වේ. මෙම ආයතනය ළමා හා යොවුන් නාට්‍ය නිෂ්පාදනය පිළිබඳව ලංකාවේ ඇති ප්‍රමුඛතම ආයතනයකි.

1981 සිට මෙම ආයතනය මගින් ළමුන් හා යෞවනයන් සඳහා ගීතමය නාට්‍ය හා වැඩිහිටි ප්‍රේක්ෂාගාරය සඳහා ප්‍රධාන ප්‍රවාහයේ නාට්‍යය ද බොහෝ සංඛ්‍යාවක් නිෂ්පාදනය කොට ඇති අතර එම නිර්මාණ ලංකාව තුළ මෙන්ම විදේශවලදී ද රඟ දක්වා තිබේ. එසේම 2007 ජනවාරි මාසයේදී අංක 03 දරන ආඥා පනත මගින් ‘ලංකා ළමා හා යොවුන් රඟහල පදනම’ ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත කරන ලද ආයතනයකි.

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැඩ සටහන් සඳහා අවුරුදු 04 සිට 14 දක්වා වයස ළමුන්ට සහභාගි විය හැකිය. මෙම වැඩ සටහනේ ප්‍රධාන පරමාර්ථය වන්නේ් සෞන්දර්යාත්මක අත්දැකීම් මගින් ළමුන්ට තුලනාත්මක කායික හා මානසික වර්ධනයක් ලබා දීමත්, ළමුන්ගේ ක්‍රීඩාශීලිත්වය, ප්‍රබෝධමත්භාවය හා මූලික කලා ශිල්ප පිළිබඳව රසඥතාවය වර්ධනය කිරීමත්ය. ඒ අනුව මෙම පාඨමාලාව ළමුන් පාසලේදී ලබා ගන්නා විධිමත් අධ්‍යාපනයට දායක වන අතිරේක ක්‍රියාකාරකම් අධ්‍යාපනය ලෙස ද සැළකිය හැකිය.

මෙම වැඩ සටහනට සහභාගි වන ළමුන්ට සංගීතය රස විඳීම සහ ඇගැයීම්, නිදහස් චලන, නැටුම් හා රිද්මයානුකූල චලනය, රංගනය සහ භාෂාව, චිත්‍ර, ගායනය, රූකඩ සහ අත් වැඩ යනාදිය පිළිබඳ මූලිකාංග අවබෝධයට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම වැඩ සටහන සෙනසුරාදා දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 1.30 දක්වා වයස් කාණ්ඩ දෙකක් යටතේ කෝට්ටේ පාර්ලිමේන්තුව අසල පිහිටි ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේදී පවත්වනු ලැබේ.

වැඩි විස්තර සඳහා මුද්දර ඇල වූ දිග ලියුම් කවරයක් සම්බන්ධීකාරක, ලංකා ළමා හා යොවුන් රඟහල පදනම, අංක 166/1, බෞද්ධ ආයතන මාවත, පාර්ලිමේන්තුව පාර කෝට්ටේ 10100 ලිපිනයට එවන්න. කෝට්ටේ රංග පීඨයේ වෙබ් අඩවියෙන් (www.playhousekotte.org) හෝ 0112863306 අංකයට කතා කිරීමෙන්ද වැඩි විස්තර ලබා ගත හැක.

0 comments:

Post a Comment