----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මාත්‍රා 2010

Monday, June 28, 2010

ලාංකේය නර්තන සම්ප්‍රදායයන් ආරම්භ වූයේ ශාන්ති කර්මයක් වශයෙන් බව අද වන විට පැහැදිලි කරුණකි. ඒවා ශත වර්ෂ ගණනාවක් පැවත ආවේද ශාන්ති කර්ම වශයෙනි.

විශේෂයෙන් උඩරට නර්තන සම්ප්‍රදායය ‘කොහොඹා කංකාරි’ ශාන්ති කර්මය ඔස්සේ ද, පහත රට නර්තනය ‘රට යැකුම, දෙවොල් මඩු, ගම් මඩු’ ආදී ශාන්ති කර්ම ඔස්සේ ද, සබරගමු නැටුම ‘පහන් මඩු’ වැනි පූජා කර්ම ඔස්සේ ද ලාංකික ජන සමාජය තුළ ව්‍යාප්ත වී ජනප්‍රියව පැවතුනු බැව් පෙනේ.

ඒවා ශාන්ති කර්ම හෝ පූජා කර්ම වශයෙන් ආගමික අවශ්‍යතාවක් ලෙස එළි දැක්කේ වුවත්, සරල කෘෂිකාර්මික සමාජයක දිවි ගෙවූ ලාංකික ජනයාට සෞන්දර්යාත්මක රස වින්දනයත්, රිද්මයත් ලබා දෙන්නට විවිධත්වයෙන් යුතු චලන සහ රිද්ම රටා වලින් යුතු ඒ ඒ නර්තන සම්ප්‍රදායයන් සමත් වූ බව පැහැදිලිය.

ඒ ඒ සම්ප්‍රදායන්ට ආවේනික ප්‍රබල නර්තන චලනයන් හා රිද්ම රටා පිළිබඳව කෙළ පැමිණි නර්තන ශිල්පීන් (එදා ඔවුන් හැඳින් වුණේ යක් දෙස්සන් ලෙසිනි) මේ ශාන්ති කර්ම තුළින් ප්‍රේක්ෂකයින් නර්තන ආනන්දයෙන් හා රිද්මයෙන් මනාව සනහාලන්නට සමත් වූහ.

අද කෙතරම් විපර්යාසයන්ට හා නවීකරණයන්ට ලක්ව ඇතත්, තවමත් මෙරට නර්තන සම්ප්‍රදායයන් හා සබැඳි ප්‍රබල නර්තන චලනවල රසය අත් විඳින්නට මෙරට පොදු ජනයාට හැකියාව ඇතැයි යන්න නොරහසකි.

ශාන්ති කර්මයක් ලෙස පැවත ආ අපේ නර්තන සම්ප්‍රදායයන් එහි මුල පදනම නොනසා යම් නවීකරණයකට ලක් වන්නේ 1940 පමණ යුගයේ සිටය. අපේ නර්තන විලාස හා රිද්මයන්, වේදිකාවට සකස් කිරීමේ සුවිශේෂ කාර්යය ඔස්සේ ඒවායේ නවීකරණය කෙමෙන් සිදු වූ බවක් පෙනේ. අපේ සම්ප්‍රදායික නර්තනය නවීකරණයට ලක් වීම, එය වේදිකාව මතට ගෙන ඒම හා සමඟ සිදු වූවකි.

අපේ නර්තන සම්ප්‍රදායන්වල ලක්ෂණ හා හැඩතල වෘත්තාන්තමය ප්‍රකාශනයක් සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාව මතු කළ මුද්‍රා නාට්‍ය කලාවේ බිහිවීමත්, වේදිකා ප්‍රසංග කලාව වැඩි දියුණුවීමත් නිසා යම් නවීකරණයකට හා සංස්කරණයකට ලක් කිරීම කෙමෙන් ඇරඹුනි.

මේ කාර්යයන් දෙක ජය ගැනීම සඳහා මෙකී මුල් යුගයේ සිට චිත්‍රසේන, පණීභාරත, වසන්ත කුමාර, ප්‍රේම කුමාර, ශේෂා පලිහක්කාර, ජේ. ඉඹුල්ගොඩ, රංගනාත්, බැසිල් මිහිරිපැන්න වැනි කලාකරුවන් ගණනාවක් ප්‍රබල හා විශිෂ්ට දායකත්වයක් දක්වමින්, වත්මන් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කළ හැකි ක්‍රමික නවීකරණයකට මෙරට නර්තන සම්ප්‍රදායයන් බඳුන් කරන්නට සමත් වූහ.

මෙරට සාම්ප්‍රදායික නර්තන නූතන වේදිකාවටත්, වත්මන් ප්‍රේක්ෂකයාටත් ගැළපෙන පරිදි සකස් කොට ප්‍රසාංගික කලාවක් සේ ඉදිරිපත් කිරීමේ ගෞරවය මේ මුල් පරපුරට හිමි විය යුතුය.

හැටේ දශකය, හැත්තෑව දශකය දක්වාම මෙකී මුල් පරපුරේ නව නිර්මාණ නර්තන හා මුද්‍රා නාට්‍ය නිර්මාණ මෙරට නර්තන ක්ෂේත්‍රය පුබුදුවමින් ක්‍රියාකාරී වූ අතර ප්‍රසාංගික ලාංකික නර්තන කලාවක් වර්ධනය කිරීමේලා උනන්දුවක් හා ශක්තියක් දක්වන තවත් පරපුරක් හැත්තෑව දශකයේ මැද භාගයේ සිට අතු ඉතිලා වැඩෙන්නට විය.

මෙරට සම්ප්‍රදායික නර්තනය පිළිබඳ මනා ශාස්ත්‍රීය පුහුණුවක් හා අවබෝධයක් ද පෙර කී මුල් නව නර්තන පරපුරේ නිර්මාණවල ආභාසයෙන් හා ප්‍රයෝගික සහභාගී නිරීක්ෂණයෙන් ද ගොඩ නැගුණු දෙවැනි නර්තන පරපුරක් හැත්තෑව දශකයේ අග භාගයේ කෙමෙන් ගොඩ නැගෙන්නට විය.

ඒ පරපුරේ පුරෝගාමී නර්තන ශිල්පියකු හා නිර්මාණ ශිල්පියකු මෙන්ම නර්තන ආචාර්යවරයකු ද වන ප්‍රවීණ කලාකරුවකු වසර පනහකට ආසන්න තම නර්තන කලා ජීවිතයේ ජයග්‍රහණ නැවත සමරන්නට සූදානම්ව සිටී.

තම ජීවිතයේ හැට වසරක් පිරීම නිමිත්තෙන් සිය කලා භාවිතව නැවත නව පරපුරකට අභිනවයෙන් ඉදිරිපත් කරන්න සූදානම් වන මේ කලාකරුවා කලාශූරී ‘කුලසිරි බුදවත්ත’ නම් වේ.

බුදවත්ත රංගායතනය මේ සුවිශේෂ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කරන ‘මාත්‍රා 2010’ කුලසිරි බුදවත්ත උපහාර නර්තන රංගන ප්‍රසංගය ජූලි 27 සවස 7.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙරට ප්‍රකට උඩරට නර්තන ගුරු පරපුරක් වන ‘බුදවත්ත’ නර්තන පරපුරේ කීර්තිමත් ශිල්පියකු වූ පුංචි ගුරු බුදවත්තයන් නම් තම පියාණන් වෙතින් උඩරට නැටුම් කලාවේ සියලු ව්‍යාකරණයන් හදාරමින් වෙස් බැඳි කුලසිරි බුදවත්ත තරුණ ශිල්පියා 1970 දී රජයේ ලලිත කලායතනයට එක්ව එහි පස් අවුරුදු ඩිප්ලෝමාව ද හදාරන්නට වෙයි.

එහිදී කලාගුරු පණීභාරත, විල්සන් ඔලබොඩුව, ඩබ්. ඩී. මකුලොලුව, ජී. රංගනාත් වැනි කලාකරුවන්ගෙන් ලැබූ ශාස්ත්‍ර පුහුණුව මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක නර්තන කටයුතුවලට සහභාගිවීමෙන් ලද පන්නරය හා ආභාසය නිසාම බුදවත්ත කලා ශිල්පියා තුළ ශිල්පීය වශයෙන් පරිණත නර්තන ශිල්පියකු මෙන්ම ප්‍රසාංගික නිර්මාණාත්මක නර්තන ඉදිරිපත් කිරීමේ ශක්තිය හා ආශාව මුසු වුණු නිර්මාණ නර්තන කලාකරුවකු ද කෙමෙන් පිබිදී මතුව එන්නට විය.

මීට අමතරව චිත්‍රසේනයන්ගේ ‘කිංකිණි කෝලම’ මුද්‍රා නාට්‍යය මෙන්ම ‘නෘතාංජලී’, ‘නවාංජලී’ වැනි ප්‍රසංගවලට සහභාගීවීමෙන් තවදුරටත් ප්‍රසාංගික නර්තනය පිළිබඳ දැනුම හා ශක්තිය වර්ධනය විය. 1980 තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා බවට පත්වීමෙන් පසු කුලසිරි බුදවත්ත කලාකරුවා තම නිර්මාණ චාරිකාව ආරම්භ කළේය.

‘සටන’, ‘ජන විජය’, ‘ගම්මානේ රබන් සුරල්’, ‘එරබදු මල්’, ‘ජයතු ලංකා’ වැනි මුද්‍රා නාට්‍ය හා නෘත්‍ය නාටක ඔහුගේ නිර්මාණකරණයේ මහඟු ඵල ලෙස අදත් සැලකිය හැකිය.

විශේෂයෙන් ‘සටන’ මුද්‍රා නාට්‍යය එවකට ගොඩ නැගෙමින් ආ ප්‍රබල තරුණ නර්තන ශිල්පීන් වූ මුදියන්සේ දිසානායක, රවිබන්ධු විද්‍යාපති, චන්න විජේවර්ධන, විද්‍යාරත්න ප්‍රනාන්දු වැනි රංගන ශිල්පීන් ගණනාවකගේ නර්තන හා රංගන කෞශල්‍යය මනාව විහිදා පෑ මෙරට නර්තන සම්ප්‍රදායයන් නාට්‍යමය කාර්යයක ප්‍රබල ලෙස යොදා ගත් නිර්මාණ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

කුලසිරි බුදවත්ත කලා ශිල්පියාගේ තවත් ප්‍රබල දායකත්වයක් වන්නේ මෙරට රූපවාහිනී ගීතයේ ප්‍රසාංගික ඉදිරිපත් කිරීම්වලට අදාල අපේ සම්ප්‍රදායික නර්තන පදනම සහිත ගීත නර්තන නිර්මාණ රාශියක් ඉදිරිපත් කිරීමය.

මෙරට රූපවාහිනී නර්තනය ජනප්‍රිය කිරීමේලා ඔහුගේ දායකත්වය ප්‍රබලය. එමෙන්ම තම කලා පරපුරෙන් තමාට උරුම වූ ‘බුදවත්ත’ නර්තන හැඩ තල රැගත් ශෛලියක් දස දහස් ගණනාවක් වූ තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වමින් විශාල ගෝල පිරිසක් බිහි කරන්නට ද ඔහු දායක විය.

කලාශූරී කුලසිරි බුදවත්තට උපහාර දක්වමින් ඉදිරිපත් කෙරෙන ‘මාත්‍රා 2010’ නර්තන ප්‍රසංගය පාරම්පරික නර්තන අංගවලින් මෙන්ම නව නිර්මාණාත්මක ප්‍රසාංගික නර්තන අංග ගණනාවකින් ද සමන්විතය.

මෙහිදී කෙටි මුද්‍රා නාට්‍ය අංග දෙකක් ඉදිරිපත් වන අතර ඉන් එකක් වන්නේ ‘සටන’ මුද්‍රා නාට්‍යයේ කොටසකි.

ඒ සඳහා මුල් නිෂ්පාදනයට සහභාගී වූ රවිබන්ධු, චන්න සහ ජයන්ත බුදවත්ත යන ප්‍රවීණ ශිල්පීන් සහභාගී වෙති.

‘සිහිනය’ නම් කෙටි මුද්‍රා නාට්‍යය මහාමායා දේවියගේ සිහිනය මූර්තිමත් කරන විචිත්‍ර නර්තනාංගයකි.

මීට අමතරව ‘හසඟන’ ගී අවිරාම නම් රූපවාහිනී ගීත නර්තන මාලාව ‘මොනරු’, ‘මුහුණු’, ‘සංඛනාද’ යන සුවිශේෂ නිර්මාණ නර්තන ගණනාවක් ද ඉදිරිපත් වන මේ උළෙලේ දී ‘බුදවත්ත’ නම් උපහාර ග්‍රන්ථයක් ද පිළිගැන්වේ.

මීට අමතරව ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර හා මහාචාර්ය මුදියන්සේ දිසානායක එක්ව කරන සංවාදයකින් බුදවත්ත කලාකරුවාගේ නිර්මාණ ගමන් මග විමසන අතර ඔහුගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථා විහිදා දැක්වෙන වාර්තා චිත්‍රපටයක් ද ඉදිරිපත් කෙරේ.

වසර ගණනාවක දැනුම, කැපවීම හා කුසලතාවද, දශක ගණනාවක නිර්මාණ අත්දැකීම ද නැවත සිහි කරමින් මෙරට පුරෝගාමී නර්තන කලාකරුවකු වන කලාශූරී කුලසිරි බුදවත්තයන්ට උපහාර දක්වනු වස් ඉදිරිපත් කෙරන නර්තන ප්‍රසාංගික සංග්‍රහය වන ‘මාත්‍රා - 2010’ රසික ඔබට විචිත්‍රවත් එමෙන්ම මතකයේ රැඳෙන නර්තන සිහිවටනයක් වනු ඇත.

0 comments:

Post a Comment